මුද්‍රණය සඳහා

 
ජනතා අභිමතාර්ථ ඉටුකරමින් රට සංවර්ධනය කළේ ශ්‍රීලනිපයයි

ජනතා අභිමතාර්ථ ඉටුකරමින් රට සංවර්ධනය කළේ ශ්‍රීලනිපයයි

-මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය දෙස බලන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිය සඳහා මේ රටේ කාන්තාවන් විශේෂයෙන් දායක වී ඇති බව ලෝකයේ ප්‍රථම අගමැතිනිය හැටියට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පක්ෂය පෝෂණය කළා පමණක් නොව, ජනාධිපතිතුමාට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් අවදිය වූයේ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

ජනතා අභිමතාර්ථයන් ඉටුකරමින් ජනතා සේවයටම කැපවූ දේශපාලන පක්ෂයක් හැටියට මේ රටේ සංවර්ධනයට මෙන්ම ජනතා අභිවෘද්ධිය සඳහා සුවිශේෂී සේවාවක් ඉටුකළ එකම දේශපාලන පක්ෂය වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට ඉතිහාසයට එකතු වී ඇතැයිද මන්ත්‍රීවරයා කීය.

මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින මහනුවර දිස්ත්‍රික්කයේ එකම කාන්තා අපේක්ෂිකාව වන සඳමාලි මංගලගම මහත්මිය ඇතුළු එජනිස අපේක්ෂකයින්ට ආධාර පිණිස හාරිස්පත්තුවේ අලවතුගොඩ නගරයේදී පැවැති ජනහමුවකදී මන්ත්‍රීවරයා එසේ කීය.

වර්තමානයේ දේශපාලනයට පිවිසෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු මට්ටමක පවතින අතර, මැතිවරණයකට ඉදිරිපත් වූවත් ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතයද අඩුවෙන් පාවිච්චි වන බවත් පැවසූ නාමල් රාජපක්ෂ මහතා, මේ තත්ත්වය මඟහැරීම පිණිස ශ්‍රීලනිප බල මණ්ඩල හා ශාඛා සමිති නම් ලැයිස්තුවලට කාන්තා අපේක්ෂිකාවන් වැඩිපුර යෙදීමට ජනාධිපතිතුමා බලාපොරොත්තු වන බවත් කීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය. අද මේ රට තුළ ත්‍රස්තවාදය තුරන් වී සාමය සමගිය උදාවී මුළු රටම ශීඝ්‍ර සංවර්ධන ක්‍රියාවලියකට යොමුවී තිබෙනවා. ඇඟට දැනෙන අතිවිශාල සංවර්ධනයක් ක්‍රියාත්මක වෙනවා. එවැනි කාලයක තමයි මේ මැතිවරණයකට මුහුණ දෙන්නේ. එක් පැත්තකින් බටහිර අධිරාජ්‍යවාදීන්ගෙන් මේ රටට එල්ලවිය හැකි බෙදුම්වාදී සංකල්පය, අනෙක් පැත්තෙන් මානව හිමිකම් උල්ලංඝනය කරයි කියලා ජනාධිපතිතුමා සහ රණවිරුවන් පෝරකයට ගෙනයාමට උත්සහ කරන අවදියක්. ඒ වගේම මේ රට තුළ නැවතත් ජාතිවාදී අරගලයක් ඇති කරලා, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ මුදල්, ඇතැම් තානාපති කාර්යාලවල මුදල් යොදවා මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ජාතීන් අතර අර්බුදයක් ඇති කරන්නට ඇතැමුන් වෙරදරන කාලයකයි මේ මැතිවරණය පැවැත්වෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා එක්සේසත් කළ මේ රටේ බෙදුම්වාදී අරගල පරාජය කොට ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ රට ආරක්ෂා කිරීමේ වගකීම ඔබ සතුයි. එබැවින් මේ පළාත් සභා මැතිවරණයේදී බුලත් කොලය ජයග්‍රහණය කරවීමෙන් එම වගකීම ඉටුකරන මෙන් ඉල්ලා සිටිනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]