මුද්‍රණය සඳහා

 
හොඳ බෞද්ධයෙක් ලෙස මම අන් ආගම්වලට ගරු කරනවා

හොඳ බෞද්ධයෙක් ලෙස මම අන් ආගම්වලට ගරු කරනවා

ජනපති මහින්ද මහනුවර දී කියයි

හොඳ බෞද්ධයෙක් ලෙස තමන් අන් සියලු ආගම්වලට ගරුකරන බවත් සියලු ආගම් ආරක්ෂා කරමින් රැක ගැනීමට නිරතුරුව කටයුතු කරන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මුස්ලිම් ජාතික ඔබ පොළවට පය ගැසූ දා සිට එදා රට පාලනය කළ රජවරු තමුන්නාන්සේලා රැකගනිමින් ගම්බිම් ලබාදුන් බවත් එදා සිට මෙරට රැකුණු සාමය, සමඟිය හිතවත්කම දිගින් දිගටම ගෙනයෑමට තමන් හැම මොහොතකම සූදානම් බවත් ජනපතිවරයා කීවේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මහනුවර දිස්ත්‍රික් මුස්ලිම් ප්‍රජාව අතර විශේෂ හමුවක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ (8) පැවැති අතර ඒ අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා රැස්ව සිටි පිරිසට සිය ආචාරය පිරිනැමූ අයුරු. උසස් අධ්‍යාපන ඇමැති එස්.බී දිසානායක, ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම් ෆවුසි, පරිසර නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය - සුදත් සිල්වා

මහනුවර ජනපති මන්දිරයේදී ඊයේ (08) පැවති මුස්ලිම් නියෝජිත හමුවකදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මුස්ලිම්වරුන් රජයෙන් ඈත් කරවීමේ උත්සහයක් අද රටතුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් පටු දේශපාලනික අරමුණු ඉටුකර ගැනීමට කවුරුන් හෝ උත්සහ දැරුවත් ඉතිහාසය මතක ඇති මුස්ලිම් ජනතාව කිසිදා තමාගෙන් ඈත්කර දැමිය නොහැකි බවද ජනපතිවරයා අවධාරණය කළේය.

එක නායකයෙක් 2005 දී කිව්වා අපි බලයට ආවාම කරන්නේ පල්ලිවල ආගම කියවන එක. නැවැත්වීම කියලා හැබැයි සිංහල ගුවන් විදුලියෙන් පස්වතාවක් ආගම කියවන්න උපදෙස් ලබා දුන්නේ අපියි. අපි ආගම්වලට සලකන්නේ එලෙසයි. මම හොඳ බෞද්ධයෙක්. මුස්ලිම්වරුද දවසකට පස්වතාවක් වඳිනවා වගේ මම දිනකට තුන්වතාවක් බුදුන් වඳිනවා. හොඳ බෞද්ධයෙක් නිසා තමයි මම අනිත් ආගම්වලට ගරුකරන්නේ. ආගම මුස්ලිම්, බෞද්ධ එහෙම නැත්නම් කතෝලික කියාගන්නා සමහරු ඒ එක ආගමකින්වත් කියවෙන එක් දෙයක්වත් අනුගමනය නොකර බොරු ජාතිවාදය, ආගම්වාදය අවුස්සනවා.

ඔබලා කාටවත් බය වෙන්න එපා. මේ රජයේ මුස්ලිම් ඇමැතිවරු, කොපමණ ඉන්නවද? මේ ආණ්ඩුවටත් කරන්න බැරිනම් ඔබලා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නේ කවුද? පළාත් සභා මැතිවරණයක් පැවැත්වෙන නිසා මන්ත්‍රීවරු අතර තරගයක් තිබෙනවා. නමුත් අප යායුත්තේ එකට අත්වැල් බැඳගෙනයි. බෙදී පෙරට යන්න අපට බැහැ.

වැඩියෙන්ම බුදුගුණ කීවේ මොහිදින් බෙග්, මොහොමඩ් ගවුස්, මොහොමඩ් සාලි, වැනි කලාකරුවනුයි. මේ සංගීතඥයන්ට බෞද්ධයෝ ගරුකරනවා. මේවා හොඳින් තේරුම්ගෙන අවබෝධයට ගන්න. අප කෙරෙහි විශ්වාසය තබන්න. ඔබ සියලු දෙනා ආරක්ෂා කිරීමේ සියලු ආගම් රැක ගැනීමේ හා දියුණු කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම තිබෙන්නේ අපටයි. අපි ඒ වගකීම බාරගන්නවා.

මේ ගෙවිලා යන්නේ ඉතා තීරණාත්මක කාලයක්. මේක තීරණාත්මක කාලයක් වෙන්නේ මධ්‍යම, වයඹ, උතුර කියන පළාත්වල පවත්වන පළාත් සභා ඡන්දය නිසා විතරක් නොවෙයි. ඡන්දය තිබුණත් නැතත් කවුරු බලයට ආවත් නැතත් ජාතීන් හැටියට අපි කටයුතු කරන ආකාරය දිහා බැලුවහම මම හිතන්නේ තීරණාත්මක කාලයක්. අද අපිට මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න විසඳාගන්න කලින් අපි ජීවත් වුණ හැටි ගැන සිංහල, දෙමළ, මුස්ලිම් කවුරුත් මතක තියා ගන්න ඕනෑ. ඒ ගැන හිතලා අපිට කටයුතු කරන්න පුළුවන් නම් අපි මීට වඩා සාර්ථකයි.

‘මුස්ලිම් ජනතාවත් අපේ සහෝදරයන් වගේ ජීවත් වෙන්නේ. මේ රටේ ජීවත්වන අපි හැමෝම එක මවකගේ දරුවෝ. ජාති භේද, ආගම් භේද, ප්‍රදේශ භේද මේ කිසිදෙයක් තිබෙන්න බැහැ. සමහර අය ජාතිවාදය ගැන කතා කරනවා. නමුත් අපි එදා වගේ අදත්, කවදත් සහෝදරයින් වශයෙන් ජීවත් වෙන්න ඕනෑ. ඒක නැති කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒක තමයි යථාර්ථය.’

අද අපි පන්සල් පල්ලිවල කෝවිල්වල අයිතිය ගැන ඒවායේ ඉඩකඩම් ගැන නොයෙකුත් ආරවුල් කර ගන්නවා. උතුරේ නැඟෙනහිර ඉඩම් අයිතිය ගැන වාගේම කොළඹත් යම් යම් සිද්ධි ඇති කර ගන්නවා. නමුත් එදා ඊළාම්වාදයට රට යටවෙලා තිබුණ යුගයේ මේ කාටවත් අයිතිවාසිකම් ගැන කතා කරන්න අයිතියක් තිබුණේ නෑ. මුස්ලිම් ජනතාව අවුරුදු 19ක් පුත්තලමේ හිටියේ. හැබැයි දැන් ඒ අය වෙනුවෙන් කතාකරන නායකයෝ එක්කෙනෙක්වත් එදා ඒ අය ගැන බැලුවේ නැහැ. කවුරුත් බැලුවේ කොහොම හෝ පිටරටකට පැනලා යන්න.

අද සමහරු උතුර, නැඟෙනහිර ඉඩම්වල පූජා භූමි ගැන කතා කළත් එදා එම පළාත්වලට යන්න කවුරුවත් කැමති වුණේ නෑ. මුස්ලිම් ජනතාව ඒ පළාත්වලින් එලවපු ත්‍රස්තවාදීන් එක්ක එදා අපේ සමහරු ගිහින් කතා කළා. අපි මේ දේවල් මතක තබාගත යුතුයි. අපි කරනවා නම් කරනවා කිව්වා. බැරි නම් බැහැ කිව්වා. ඒ නිසා තමයි එදා අපි සිංහල ජනතාවටත්, මුස්ලිම් ජනතාවටත්, දෙමළ ජනතාවටත් කිව්වේ ත්‍රස්තවාදය පරාජය කරලා ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපනය කරනවා කියලා. අපි එය සිදු කළා.

එදා ජීවත් වුණ යාපනයේ අත ඇරලා දකුණට එන්න මුස්ලිම්වරුන්ට දුන්නේ පැය 24යි. එදා යාපනයේ ඔස්මානියා මුස්ලිම් උසස් අධ්‍යාපන පීඨය සම්පූර්ණයෙන්ම විනාශ කළා. කඩිජා කියන මුස්ලිම් කාන්තා විද්‍යාලය සම්පූර්ණයෙන්ම විනාශ කළා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අබ්දුල් කාදර් උපන් බිම, කොළඹ සහිරා විද්‍යාලයේ විසිවස් වසරක් විදුහල්පති වෙලා හිටපු ඒ. එම්. ඒ. අසිස් උපන් බිම යාපනේ. ඒ අයගේ පවුල්වලටත් උපන් යාපනය අහිමි වුණා. ඒ විතරක් නෙවෙයි, දේවස්ථානවලටත් ගිනි තියලා විනාශ කළා.

අද සුළු සිද්ධියටත් කතා කරන උදවිය එදා ත්‍රස්තවාදීන් සමඟ කතා කළා. දරුමල්ලෝ උස්සාගෙන අතින් පයින් ගෙනියන්න පුළුවන් දෙයක් විතරක් අරගෙන ගේ දොර ඉඩකඩම් දාලා අනුරාධපුරයට එනකොට උදව් කළේ කවුද?

අද මුස්ලිම් දේවස්ථාන ගැන අහන අය එදා තමුන්නාන්සේලාට පාන් කෑල්ලක් දෙන්න වතුර ටිකක් දෙන්න ආවේ නෑ. අද මුස්ලිම්වරුන්ට අසාධාරණකම් වෙන බව කියන අය කතා නොකරන දේවල් ටිකක් මම මතක් කරන්න ඕනෑ. එදා උතුරේ විනාශ කළ දේවල් අපි දැන් ගොඩනඟාගෙන යනවා. අපි ඔවුන් වෙනුවෙන් එදා කතා කළා. ඔවුන් වෙනුවෙන් පමණක් නොවෙයි පලස්තීනය, ඉරානය ආදී ඕනෑම රටක ප්‍රශ්න ඇතිවුණාම අපි ඒ වෙනුවෙන් කතා කළා, පෙනී සිටියා.

ත්‍රස්තවාදීන් එදා වනසපු යාපනේ ඔස්මානියා විද්‍යාලය ගොඩනඟලා දැන් ඒවා මුස්ලිම් ජනතාවට භාර දීලා තියෙනවා. ඊළඟට කඩිජා මුස්ලිම් කාන්තා විද්‍යාලය. එකත් අලුතින් ගොඩනඟලා දැන් මුස්ලිම් ජනතාවට භාර දීලා තියෙනවා.

අපි ආසියාවේ ලස්සනම මුස්ලිම් පල්ලිය නුවරඑළියේ ගොඩනඟලා දැන් වසර දෙකක් විතර, ඊළඟට දර්ගා නගරයේ මුස්ලිම් පල්ලිය විවෘත කරලා තවම මාස 06ක් නෑ. ඒ අපේ සහෝදරයෝ අපි එකට අත්වැල් බැඳගෙන ඉන්නේ.

අද ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඉන්නවා. එදා කාත්තන්කුඩියේ මුස්ලිම්වරුන් පහර දෙනකොට කවුද හිටියේ? ත්‍රිකුණාමලයෙන්, සාම්පූර්වලින්, මුතූර්වලින් එළවපු වෙලාවේ කවුද හිටියේ? අපි කිව්වා නැවත ඔබව පදිංචි කරනවා කියලා. ඒ වගේම අපි ඔබව ඒ ප්‍රදේශවල පදිංචි කෙරුවා. ත්‍රස්තවාදීන් එළවා දැමුවා. ඒකයි අපි අතරේ තිබුණු සම්බන්ධය. දැන් ඇවිත් කෑගහන උදවිය ඉතිහාසයේ ත්‍රස්තවාදින්ට ජනතාව පාවලා දුන්නා. ඔවුන් දැන් තවතවත් අලුත් දේවල් කියනවා.

අපි ජාතිවාදීන් හැටියට පෙන්වනවා. අපි කියන කතාවක් සම්පූර්ණයෙන් කියවන්නේ නැහැ. ඒකට අලුතෙන් කොටස් එකතු කරලා කියනවා අපි මේ විදිහට කියලා තියෙනවා කියලා ප්‍රචාරය කරනවා. ලෝකයේ අභියෝග ගැන ජාත්‍යන්තර සම්මේලනයකදී කතා කරන කොට බෞද්ධ අන්තවාදය වේවා මුස්ලිම් අන්තවාදය වේවා මේවා අනාගතයේදී අපට තිබෙන අභියෝග. ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න කියලයි කියලා තිබෙන්නේ. නමුත් ඒ දෙය නොවෙයි ප්‍රචාරය කරන්නේ.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා

ලබන 21දා පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය එජනිසයට ඉරහඳ වගේ ස්ථිරයි. ඒ ඡන්දයේදී මුස්ලිම් ජනතාව මෙවර විශාල ශක්තියක් සන්ධානයට ලබා දෙනවා. අපට ලැබුණු ජන නායකයා ජනතාවගේ ආශිර්වාදයට ලැබුණු නායකයෙකි. ඒ නායකයා අපි ආරක්‍ෂා කැර ගත යුතුය. මුස්ලිම් ජනතාව ආරක්ෂා කැර ගන්නා නායකයකු අපි දෙවියන්ගෙන් ඉල්ලුවා. ඒ සඳහා අල්ලා දෙවියන් අපට ආශිර්වාද කළා. අපේ යුතුකම ජනාධිපතිතුමන් ආරක්‍ෂා කිරීමයි. කලුගල්වල ඔලුව ගහගන්න බෑ ජනතා ආශිර්වාදයෙන් ශක්තිමත් ජනාධිපතිතුමන් සමඟ කිසිඳු බලවේගයකට හැපෙන්න බැහැ.

මෙහිදී කතා කළ පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා,

මෙවර මැතිවරණයේදී මුස්ලිම් ප්‍රජාව 90%ක් සන්ධානය සමඟයි. පසුගිය වකවානුවේ මා ආණ්ඩුවට එක්වීමත් සමඟ රුපියල් මිලියන 750ක සංවර්ධනයක් මහනුවර දිස්ත්‍රික්කයට සිදුකළා. ඉන් මිලියන 350ක් පමණ අකුරණ ප්‍රදේශය සංවර්ධන කටයුතු සඳහා යොදවනු ලැබුවා.

අද එජාපයට වැඩපිළිවෙළක් නැහැ. ඔවුන්ට ජයග්‍රහණය පිළිබඳ තබා ජයග්‍රහණයක් ගැන සිහිනයක්වත් නැහැ. මේ ආණ්ඩු හැම අතින්ම මුස්ලිම් ජනතාව වෙනුවෙන් උපරිම සේවාව කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. අස්වර් මහතා,

ත්‍රස්තවාදය පරදා උතුර - දකුණ එක්කළ නායකයාට මේ රටේ ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් බේදයෙන් තොරව ආශිර්වාදය ලබා දෙනවා. එල්.ටී.ටී.ඊ. කොටි වගේම කොළ කොටිත් ඉන්නවා. අද ඒ කොටි ඡන්දය ඉල්ලන්න එනවා. ජාතිවාදය, ආගම්වාදය පතුරා දේශපාලනය කරන අයට මේ රටේ ඉඩක් නැහැ. අද මුළු ආසියාවේම ඉන්න බලසම්පන්නම නායකයා අපේ ජනාධිපතිතුමායි. එතුමාට මුළු ආසියාවම පාලනය කරන්න පුළුවන්.

අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා මෙහිදී පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළ අතර, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, එස්. බී. දිසානායක, ජී. එල්. පීරිස්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]