මුද්‍රණය සඳහා

 
රටේ ජීවත්වන මුස්ලිම් ජනයාට ජනපති බෙහෙවින් ලෙන්ගතුයි

රටේ ජීවත්වන මුස්ලිම් ජනයාට ජනපති බෙහෙවින් ලෙන්ගතුයි

 - නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර්

මේ රටේ ජීවත්වන මුස්ලිම් ජනතාව තම ජීවිත තිබෙන තුරු මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාත්, එතුමාගේ පවුලේ උදවියත් කිසිදාක අමතක කරන්ට එපායැයි පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අල්හාජ් ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිටි කිසිදු ජනනායකයෙකුගෙන් නොලැබුණු සුවිශාල සේවාවක් වත්මන් ජනාධිපතිතුමා ගෙන් මෙරට මුස්ලිම් ජනතාවට මේ වනවිට ලැබී ඇති බවත්, එතුමා සිටින තුරු මුස්ලිම් ජනතාවට යහපතක්ම සිදුවන බවත් ඒ මහතා කීය.

අකුරණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් අලවතුගොඩ 9 කණුවේ සිට මාවතුපොල හරහා මල්ගමන්දෙණිය මාර්ගය සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා එම අදහස් පළ කළේය. මග නැඟුම ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ සටහනේ “ගමින් ගම යාකිරීමේ ව්‍යාපෘතිය” යටතේ රුපියල් ලක්ෂ 665ක වියදමින් මේ මාර්ගය සංවර්ධනය කෙරේ. සමාරම්භක උළෙල ඉකුත් 06 දින අලවතුගොඩ 9 කණුවේදී පැවැත්විණි.

ජාතිවාදයක් නොමැති රජකෙනෙක් ලෝකයේ කිසිම රටකින් සොයාගැනීම ඉතාමත් අසීරු කරුණක් වුවද ශ්‍රී ලංකාවට එවැනි රජකෙනෙක් ලැබීම මේ රටේ ජනතාවගේ වාසනාවක් යැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිතුමා පමණක් නොව, එතුමාගේ සහෝදරයින්, දරුවන් ඇතුළු සියලු දෙනාම අමතක නොකිරීමට වගබලා ගැනීම මුස්ලිම් ජනතාවගේ යුතුකමක් බවද කීය.

ඒ මහතා මෙසේද කීය.

ජනාධිපතිතුමාගේ ආශීර්වාදයෙන් මේ වනවිට අකුරණ ප්‍රදේශයට රුපියල් මිලියන 325ක් ද, මහනුවර දිස්ත්‍රික්කයට ම රුපියල් මිලියන 750ක් ද සංවර්ධන වැඩ වෙනුවෙන් වැයකර තිබෙනවා.

ඒ නිසා මුස්ලිම් ජනතාව එතුමාට ශක්තියක් වන්නට ඕනෑ. මුදල් රැගෙන ජනාධිපතිතුªමා රවටන්ට එපා. මෙපමණ කාලයක් අපේ අය බොහෝ දෙනෙක් ජනාධිපතිතුමාට අතට අත දීල, සුබපතල, කාලබීලා, ඉදල එනවා. නමුත් ඡන්දය දෙන්නේ් නෑ. ඒ ජාති දැන් කරන්ට එපා. ඒ නිසා දෙවියන්ගේ නාමයෙන් මම කියන්නේ මේ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව ඡන්දය දෙන්ට ඕනෑ බුලත් කොළයට කියන එක මම කියනවා. සිංහල, මුස්ලිම්, දෙමළ කවුරුත් එකට ඉන්ට ඕනෑ. ජාති, ආගම්, කුල මල භේද නැතිව එකා මෙන් ඉන්ට ඕනෑ යයිද හෙතෙම කීය.

වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයේ සම්බන්ධිකරණ ලේකම් චන්ද්‍රා රාජපක්‍ෂ මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රැසක්ද ඒ අවස්ථාවට සහභාගි වූ අතර, පූජ්‍ය පරණගම චන්දරතන හිමියෝ මෙහිදී අනුශාසනාවක් කළහ.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරික් ප්‍රසන්න වීරවර්ධන, අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එම්. එම්. සිම්සාන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඒ. එම්. සරත් අමරකෝන්, මගනැඟුම ව්‍යාපෘති අධ්‍යක්‍ෂ බණ්ඩාර රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම් පි‍්‍රයන්ත රත්නායක යන මහත්වරුද උත්සව සභාව ඇමතූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]