මුද්‍රණය සඳහා

 
විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට පොදු රද මඩුලු සමුළුව වැදගත්

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට පොදු රද මඩුලු සමුළුව වැදගත්

- විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්

විදේශීය රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ ලේකම් කර්නල් නිශ්ශංක විජේරත්න මහතා පවසයි.

එළඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා රටවල් රැසක රාජ්‍ය නායකයන්, ඇමැතිවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිත අතර එය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් බවද ඒ මහතා පෙන්වාදෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමඟාමීව ව්‍යාපාරික සමුළුවක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම්කර තිබෙන බවද ඒ වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල්වල ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සහභාගී වන බවද පෙන්වාදෙන ලේකම්වරයා ඔවුන්ගේ පැමිණීම අපේ රටේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් හිතකර තත්ත්වයක් බවද කියා සිටී.

විශේෂයෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය උසුළන මැලේසියාව හා සිංගප්පුරුව යන රටවලට මේ වනවිටත් ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා පිටත්කර යවන බව සිහිපත් කරන නිශ්ශංක විජේරත්න මහතා සෙසු රටවලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව හොඳ අවස්ථාවක් කරගත යුතු බවද පෙන්වා දෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමඟාමීව පැවැත්වෙන ව්‍යාපාරික සමුළුව වෙනුවෙන් එම මණ්ඩලීය රටවලට අමතරව ලොව සෙසු රටවලටද සහභාගී වන ලෙස රජය ආරාධනාකර ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]