මුද්‍රණය සඳහා

 
උතුරු-මධ්‍යම-වයඹ තැපැල් ඡන්ද දීම අද-හෙට

උතුරු-මධ්‍යම-වයඹ තැපැල් ඡන්ද දීම අද-හෙට

උතුර, මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම අද (9) දා හා හෙට (10) දා පැවැත් වේ.

තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීම සඳහා වයඹ, මධ්‍යම හා උතුරු පළාත් තැපැල් ඡන්ද දායකයන් 1,11,383 දෙනකු මෙවර සුදුසුකම් ලබා ඇති බවද ඔවුන් දිවයිනපුරා පිහිටි රාජකාරී ස්ථානවල දී ඡන්දය භාවිතා කිරීමට නියමිත බව ද, නියෝජ්‍ය

මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කෙළේ ය. උතුරු පළාත් තැපැල් ඡන්ද අපේක්‍ෂකයන් 14421ක්ද, මධ්‍යම පළාතේ තැපැල් ඡන්ද අපේක්‍ෂකයන් 110383ක්, වයඹ පළාතේ තැපැල් ඡන්ද අපේක්‍ෂකයන් 2656ක්ද තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇතැයි හෙතෙම කීය.

පක්‍ෂ අපේක්‍ෂකයන් හෝ, ස්වාධීන අපේක්‍ෂකයන් හෝ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කෙරෙන ස්ථාන අසලදී මැතිවරණ ප්‍රචාරක කටයුතු වල යෙදීම අද හා හෙට සපුරා තහනම් බවද, නියෝජ්‍ය කොමසාරිස්වරයා අනාවරණය කෙළේ ය.

තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමෙන් පසු අදාළ පත්‍රිකාව කවරයට දමා සීල් කිරීම සහතික කිරීමේ නිලධාරියා ඉදිරියේ දී සිදු කළ යුතු බව ද එදිනම හවස එම පත්‍රිකා තැපෑලට යොමු කෙරෙන බවද ඒ මහතා කීය. තැපෑලෙන් ඡන්දය සලකුණු කෙරෙන මධ්‍යස්ථාන වලට සහතික කිරීමේ නිලධාරීන්ට අමතරව පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අවසර ලත් නියෝජිතයන්ටත්, දේශීය මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් නියෝජිතයන්ටත් ඇතුළු වීමේ අවසර හිමි වන බව නි. කොමසාරිස්වරයා කීවේය.

යම් මධ්‍යස්ථානයක ආරක්‍ෂාව සුරක්‍ෂිත නොවන බව සහතික කිරීමේ නිලධාරියාට හැඟී යන්නේ නම් ළඟම පිහිටි පොලිස් ස්ථානයෙන් ආරක්‍ෂාව ඉල්ලා සිටීමේ හැකියාව පවතින බව ද හෙතෙම කීය.

අද හා හෙට සියලු තැපැල් ඡන්ද දායකයන් අනිවාර්යයෙන්ම තැපෑලෙන් ඡන්දය සලකුණු කළ යුතු බවත්, එහෙත් යම් නොවැළැක්විය හැකි හේතුවක් මත නොහැකි වුවහොත් මෙම මස 12, 13, හෝ 14 යන තෙදින එක දිනක දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගොස් තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බව ඒ මහතා පැවසීය.

අද හා හෙට තැපැල් ඡන්දය භාවිතා නොකරන ඡන්ද පැකට් විවෘත ;නාකොට අදාළ කාර්යාලය පිහිටා ඇති දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට 11 දා සවස තැපැල් කර යවන බවද ඒ අනුව අනන්‍යතාව තහවුරු කොට දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් තැපැල් ඡන්දදායකයාට ඡන්දය ප්‍රකාශ කළ හැකි බවද නි. කොමසාරිස්වරයා අනාවරණය කෙළේ ය.

එසේම තැපැල් ඡන්ද දායකයන්ට ඡන්දය රහසිගතව ප්‍රකාශ කිරීමට හැකි අයුරින් කාර්යාල සකස් කර දිය යුතු බව කී ඒ මහතා ඡන්ද කුටිවල ඡායාරූප ගැනීම සපුරා තහනම් බව කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]