මුද්‍රණය සඳහා

 
තිස්වසරක ත්‍රස්තවාදය පැරදවූයේ යළි එවැන්නකට ඉඩ තබන්න නොවේ

තිස්වසරක ත්‍රස්තවාදය පැරදවූයේ යළි එවැන්නකට ඉඩ තබන්න නොවේ

අනාගත දරුවන්ටත් රට රැක දෙන බව ජනපති මාතලේ දී කියයි

තිස් වසරක් රට තුළ පැවැති ත්‍රස්තවාදය පරාජය කළේ යළිත් වරක් ත්‍රස්තවාදයක් රට තුළ ඇති කිරිමට ඉඩ තැබීමට නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය. රට ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා අපේ යුතුකම අද සිටින ජනතාවට පමණක් නොව හෙට උපදින්නට සිටින දරුවන්ටත් මේ රට ආරක්ෂා කර දීම බව පැවසීය.

ජාතීන් අතර, ආගම් අතර ගැටුම් ඇති කරමින්, අසත්‍ය ප්‍රචාර පතුරවමින් මේ ආණ්ඩුව පෙරළන්නට විවිධ උපක්‍රම යොදමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳව කල්පනාකාරීව සිතිය යුතු බවත් කිවේය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ මධ්‍යම පළාත් සභා මැතිවරණයේ මාතලේ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස්  සන්ධාන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන මහා ජන රැලියට මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී පෙරේදා (07) එක්වෙමිනි.

සියලු ජාතීන්, ආගම්වල සමඟිය නැතිව රටක් දියුණු කළ නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කට කථාවලට නොරැවටෙන ලෙස දෙමළ හා මුස්ලිම් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂකයා වශයෙන් තමා සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. රට තුළ ඇති වෙමින් පවතින වෙනසට බිය වී සිටින විපක්ෂය අසත්‍ය ප්‍රචාර තුළින් ගැටුම් ඇති කරන්නට උත්සාහ ගන්නා අවස්ථාවක අපි සියලුදෙනා දේශපාලනික වශයෙනුත් සමඟියෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ ශ්‍රී සීලරතන හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයත් ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, පවිත්‍රා වන්නිආරච්චි, විජිත් විජයමුණි සොයිසා, විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහත්ම මහත්මීහු ද මෙහිදී අදහස් දැක්වූහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]