මුද්‍රණය සඳහා

 
චීන නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල ගමනක

චීන නියෝජ්‍ය අගමැති ශ්‍රී ලංකාවේ නිල ගමනක

චීනයේ නියෝජ්‍ය අගමැති සහ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවේ සාමාජික ලියු යුංෂාන් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.

රජයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට

පැමිණෙන ඒ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රොඩ්නි පෙරේරා මහතා "දිනමිණ" ට පැවසීය.

ඊයේ (08) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණි ඒ මහතා මෙරට රැදී සිටින කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දි. මු ජයරත්න, ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

කොළඹ දකුණු වරාය, නිදහස් චතුරශ්‍රය සහ චීන ආධාර යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව නරඹන ලියු යුංෂාන් මහතා ගාල්ලේ චාරිකාවකට එක්වෙමින් ගාල්ල කෞතුකාගාරය තුළ ස්ථාපිත කළ චීන ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා මැදිරිය විවෘත කිරීමේ අදස්ථාවටද සහභාගි වීමට නියමිතයි.

බෙලරුස් සහ යුක්‍රේන සංචාරයකින් අනතුරුව ලියු යුංෂාන් මහතා මෙරට සංචාරය කරන බව වාර්තා වෙයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]