මුද්‍රණය සඳහා

 
සැප රියේ ඩිකිය අස්සෙන් බිංගිරියෙන් කොළඹට කසිප්පු

සැප රියේ ඩිකිය අස්සෙන් බිංගිරියෙන් කොළඹට කසිප්පු

කුරුණෑගල දෙසින් අධිවේගයෙන් පැමිණි සුපිරි මෝටර් රථයක් මුගුණුවටවන විලත්තව හන්දියේදී නතර කරවාගෙන පරීක්‍ෂා කළ හලාවත පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කාලයක් තිස්සේ බිංගිරිය ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ප්‍රවාහනය කරමින් තිබූ කසිප්පු ජාවාරමක් අනාවරණය කරගෙන ඇත.

එම රථයේ පසුපස ආසන ගලවා එහි හා ඩිකියේ ගබඩා කරගෙන ගිය කසිප්පු ස්ප්‍රීතු බෝතල් 650ක් සමඟ එම රථයත් එහි ආ තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මම ජාවාරම පළමුවරට දැනගැනීමට හැකි වී ඇත්තේ හලාවත මූලස්ථාන පොලිස් පරීක්‍ෂක මනෝජ් රංගල මහතාටය. ඒ අනුව දින ගණනාවක් රැකවල් ලා සිටීමෙන් පසු පසුගිය 6 වන සිකුරාදා සවස අත්අඩංගුවට ගෙන ඇත.

බිංගිරිය කොළමුණුඔය ප්‍රදේශයේ කැළෑවල පෙරනු ලබන කසිප්පු මෙලෙස මෝටර්රථවලින් දංකොටුවට ගෙන ගොස් පසුව කොළඹ අවට ගෙන යන බවත් අනාවරණය කරගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සිව්දෙනා බෝලවත්ත හා දංකොටුව ප්‍රදේශවල අය බවත් කියති.

අත්අඩංගුවට ගත් තිදෙනා මේ මස 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් නිශ්ශංක රූපසිංහ මහතා නියම කෙළේය.

හලාවත පොලිස් අධිකාරි පී. සාලිය සී. සිල්වා, සහකාර පොලිස් අධිකාරි එස්. එස්. වික්‍රමසූරිය, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් රණගල, දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ඩී. එම්. සී. දිසානායක, උප පොලිස් පරීක්‍ෂක කුමාරසේන, කොස්තාපල්වරුන් වන ඥානරත්න 35128, නිශාන්ත 41398, අසෝක 31581, බණ්ඩාර 57506, සුබසිංහ 66070 හා රියදුරු විජේකුමාර 740682 යන මහත්වරුන් වැටලීමට එක් වූහ. එම රථය හා කසිප්පු පිරවූ උර ඡායාරූපවල වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]