මුද්‍රණය සඳහා

 
21දා නියත වශයෙන්ම  සන්ධානය ජය ගන්නවා

21දා නියත වශයෙන්ම  සන්ධානය ජය ගන්නවා

 එජනිස අපේක්ෂක වීරසිංහ අලුත්ගමගේ

වසර 20ක් පෞද්ගලික ලේකම් තනතුරේ සිටි ඔබ දේශපාලනයට පිවිසීමට හේතුවුණේ කුමක්ද?

විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් වීමෙන් පසු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පියාණන් වන දිවංගත හිටපු මහජන මන්ත්‍රී එම්. එස්. අලුත්ගමගේ මහතිගේ දේශපාලන ව්‍යාපාරයට සෘජුවම දායකත්වය ලබා දුන්නා.

ඔහුගේ අභාවයෙන් පසුව නාවලපිටිය ශ්‍රීලනිප සංවිධායක වශයෙන් පත් වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ජනහිතකාමී දේශපාලනයට සහයෝගය ලබා දීම සහ 1977 සිට 1994 දක්වා පැවති දුර්දාන්ත යුඇන්පී රජයෙන් ජනතාවට සිදුවූ මර්දනයට විරුද්ධව ජනතාව පෙළගැස්වීම පිණිසත් මම දේශපාලනයට අවතීර්ණ වුණා.

එක්සත් ජාතික පක්ෂය කඩා වැටීම ඔබ දකින අයුරු?

නායකත්වයට හැකියාවක් තිබෙන්න ඕනෑ පක්ෂයක් නියම ආකාරයෙන් මෙහෙයවීමට. නායකයෙක්ගේ වැදගත් ලක්ෂණයක් තමයි තම අනුගාමිකයින් සියලුදෙනාටම එකම විදිහකට සැලකීම. එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ එවැනි ලක්ෂණ නැහැ. තවත් ඔහුගේ දුර්වලතාවක් තමයි අනුගාමිකයෙක් ජනප්‍රිය වීගෙන එනවිට ඔහුට විරුද්ධව කටයුතු කිරීම. මෙන්න මෙවැනි තත්ත්වයන් නිසා තමයි අද යූඑන්පීය සෝදා පාළුවට ගොස් ඇත්තේ. යූඑන්පිය ගොඩනැගීමට කටයුතු කළ පතාක යෝධයින් අද මේ නිසා යූඑන්පීය අත හැර ජනාධිපතිතුමා වටා එක් වී සිටිනවා.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංවර්ධනය පිළිබඳව පැවසුවොත්.

ජනාධිපතිතුමා මේ රටට නිදහස ලැබුණු පසු පහළ වූ දුර්ලභ ගණයේ නායකයෙක්. එතුමාගේ වැදගත් ගති ලක්ෂණ තමයි අභීත බව, සංවේදී බව හා රටේ සියලු ජාතීන්ට, ආගම්වලට සමානව සැලකීම.

රටේ භයානක යුද්ධයක් පැවතුණු අවස්ථාවක වුවත් ඔහු සංවර්ධන කටයුතු අමතක කළේ නැත. එතුමාගේ පාලන කාලය තුළ සිදු වූ වැදගත්ම දේ තමයි 30 අවුරුද්දයක් තුළ පැවති යුද්ධය නිමා කොට රටට සාමය ස්ථාපිත කිරීම. එයින් පසු එතුමාගේ කාලය තුළ රටේ දැවැන්ත සංවර්ධනයක් සිදුවී තිබෙනවා. අධිවේගී මාර්ග, කාපට් මාර්ග, ගමේ කොන්ක්‍රීට් පාරවල්, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපල, කොළඹ වරාය, සංවර්ධනය කිරීම, විදුලිය, රෝහල්, අධ්‍යාපනය වැනි හැම අංශයක්ම සංවර්ධනය වෙලා. මීට අමතරව උතුර, නැගෙනහිර සිදු වී ඇති සංවර්ධනයද අතිවිශිෂ්ටයි.

ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ දේශපාලන ජීවිතය සහ සංවර්ධනය ඔබ දකින්නේ කෙසේ ද?

මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවංක දේශපාලනඥයෙකි. ඔහු නිතර ඉන්නේ මහජනයා සමඟයි. සතියට දින 3ක් නාවලපිටිය, ගල්පාය, මහනුවර හා අමාත්‍යාංශයේ දී මහජන හමුවීම් පවත්වා මහජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා. ඕනෑම අවස්ථාවක දුරකථනයෙන් වුවත් සම්බන්ධ වෙන්න පුළුවන්. තමන් වෙත පැවරෙන ඕනෑම වගකීමක් කැපවීමෙන් ඉටුකරනවා.

මේ නිසා තමයි නාවලපිටිය ජනතාව මැතිවරණයක් මැතිවරණයක් පාසා ඔහුගේ ඡන්ද ප්‍රතිශතය වැඩි කරලා තිබෙන්නේ.

1977 සිට 1994 දක්වා යූඑන්පී යේ ශාපලත් පාලන කාලය තුළ නාවලපිටිය සංවර්ධයේ අගාධය තිබුණේ. එහෙත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා 1994 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාවලපිටිය සංවිධායකවරයා වීමෙන් පසුව ඇමැති තනතුරු, නියෝජ්‍ය ඇමැති තනතුරු හරහා නාවලපිටිය ආසනයේ විශාල සංවර්ධනයක් කර තිබෙනවා.

නාවලපිටිය, කුරුඳුවත්ත ඇත්ගාල යන නගර, නාවලපිටිය ජයතිලක ක්‍රීඩාපිටිය, කාපට් පාරවල්, කොන්ක්‍රීට් පාරවල්, කුරුඳුවත්ත, රාජකීය විදුහල, උලපනේ කාර්මාන්ත පුරය, ඒ මහතාගේ පාලන කාලය තුළ සිදුකළ වැදගත් මහජන සේවාවන්. ආයතනයේ සිදුකරන සංවර්ධනය පිළිබඳ පැහැදී අද විරුද්ධවාදීන් විශාල වශයෙන් අලුත්ගමගේ මහතා වටා එක් වෙමින් සිටිනවා.

ඔබගේ ඉදිරි දැක්ම කුමක් ද?

නියත වශයෙන්ම සැප්තැම්බර් 21 පැවැත්වෙන මධ්‍යම පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ මහතා 1994 සිට නාවලපිටිය ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා විශාල සේවාවක් කර තිබෙනවා. එම සංවර්ධන කාර්ය සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා එතුමාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් මගෙන් ඉටුවිය යුතු සියලු වගකීම් මා සාර්ථකව ඉටුකර දී තිබෙනවා.

මේ බව නාවලපිටිය ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව හොඳීන් දන්නා නිසා මට ලොකු විශ්වාසයක් තියෙනවා. මධ්‍යම පළාත් සභාවට මම තෝරාගන්නා බව.

එසේ මා මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වුවහොත් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නාවලපිටිය ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකරගෙන යනු ලබන දැවැන්ත සංවර්ධන කාර්යයන් සඳහා ශක්තියක් වීමටත් බලාපොරොත්තු වෙනවා.

අවසාන වශයෙන් නාවලපිටිය ඇතුළු දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල අධ්‍යාපනික ගැටලු විසඳා දීමට, මාර්ග ජලය ආදී සෑම ප්‍රශ්නයකදීම ජනතාවට උපරිම සහයෝගය දී විසඳා දීමට බලාපොරොත්තු වෙනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]