මුද්‍රණය සඳහා

 
OT එකට ඇවිත් පොත අස්සන් කර ගෙදර ඉදන් ත්‍රීවීල් හයර් ගිහින්

කළුතර නගර සභාවේ සේවකයෝ

OT එකට ඇවිත් පොත අස්සන් කර ගෙදර ඉදන් ත්‍රීවීල් හයර් ගිහින්

තවත් කට්ටියක් වෙන වෙන රස්සාවල

එජාප මන්ත්‍රී ධනුක සීවලීගෙන් චෝදනාවක්

කළුතර නගර සභාවේ සේවකයින් අතිකාල සේවයට කියා පැමිණ පැමිණීම සටහන් කර කළුතර නගරයේ ත්‍රීවීල් එලවන බවත්, සමහරු වෙනත් රැකියාවල නිරත වන බවත් කළුතර නගර සභාවේ මාසික රැස්වීම්දී එජාප නාගරික මන්ත්‍රී ධනුක සීවලී හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

සභාපති එම්. එම්. එම්. ජවුෆර් මහතාගේ (එජාප) ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී නාගරික මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ අතිකාල සේවයේ යෙදෙන නගර සභා නිලධාරීන් සහ සේවකයින් අධීක්ෂණය කිරීම සඳහා නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනකු පත් කරන ලෙසට සඳහන්ව යෝජනාවක් ඉදිරිපත් කරමිනි.

අහිංසක නගර වැසියන්ගේ බදු මුදල් නගරයේ සංවර්ධනයට යොදනවා මිස විනාශ වීමට ඉඩ නොදිය යුතු බව ද ඒ මහතා මෙහිදී කීය.

ගිනි නිවන ඒකකයට ද විශාල ලෙස අතිකාල වැය වන බැවින් එහි පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගන්නා ලෙස ද ඒ මහතා ඉල්ලීමක් කළේය.

පාලිත සිල්වා මහතා (එජනිස) නගර සභා සේවකයින් අතිකාල සේවයේ යෙදෙනවාද නැද්ද කියා අධීක්ෂණය කිරීමේ වගකීම ඇත්තේ පරිපාලන නිලධාරීන්ටයි. මන්ත්‍රී‍්‍රවරුන්ට ඒ අය අධීක්ෂණය කරන්න බැහැ.

සුකුමාල් පෙරේරා මහතා (එජාප) අතිකාල සේවා නිර්දේශ කරන අයත් ඒවා අනුමත කරන අයත් මේ පිළිබඳව සොයා බලන්න ඕනෑ.

බී. ඩී. ජෝසප් මහතා (එජනිස) හරියට රාජකාරිය කර අතිකාල දීමනා ලබා ගන්නා නිලධාරීන් ද සිටිනවා.

සභාපති එම්. එම්. එම්. ජවුෆර් මහතා (එ. ජා. ප) නගර සභාවේ මූල්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා 25%කින් සේවකයන්ගේ අතිකාල කපා දමා තිබෙනවා. නගර සභා සේවකයන් සේවයට පැමිණ ත්‍රීවීල් එලවනවාද කියන්න මා දන්නේ නැහැ. අතිකාල සේවයේ යෙදෙන නිලධාරීන් අධීක්ෂණය කිරීමේ යෝජනාවට පක්ෂව ඡන්ද 6ක් ද විපක්ෂව ඡන්ද 3 ක් ද ලැබුණු අතර, වැඩි ඡන්දයෙන් යෝජනාව සභා සම්මත විය.

සභාපති එම්. එම්. එම්. ජවුෆර් (එජාප) මහතා සහ එජනිස නාගරික මන්ත්‍රී න. ඩී. ජෝශප් මහතා ඡන්දය පාවිච්චි කිරීමෙන් වැලකී සිටියේය.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]