මුද්‍රණය සඳහා

 
නායකයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටිද්දී

නායකයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටිද්දී

පාපන්දු පිලේ අන්ත පරාජය ගැන පැය 24ක් ඇතුළත ප්‍රශ්න කරයි

පුහුණුකරු ඇතුලු තාක්ෂණික නිළධාරීන්ගේ සාක්ෂි හෙට

කණ්ඩායම අද ශ්‍රී ලංකාවට

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට සහභාගීවූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කත්මන්ඩු සිට මෙරටට පැමිණ පැය 24ක් ගතවෙද්දී පරාජය පිළිබඳ කරුණු සෙවීමට පත්කළ ත්‍රී පුද්ගල කමිටුවේ පරීක්ෂණ අරාම්භ වෙයි. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ අතර තරගාවලියේදී ලද දරුණු පරාජය පිළිබඳ කණ්ඩායමේ තාක්ෂණික නිලධාරීහූ සියලු දෙනාගෙන් හෙට (10) පෙරවරු 11.00ට ප්‍රශ්න කිරීමට නියමිතය.

නේපාලයෙන් පිටත්වීමට පෙර කණ්ඩායම් කළමනාකරු එම්.එම්.රමීස් මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී පැවැසූවේ දුර බැහැර සිටින ක්‍රීඩකයින්ගේ ඉල්ලීම් සලකා ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම 12 වැනි බ්‍රහස්පතින්දා සිදු කිරීමට ත්‍රී පුද්ගල කමිටුව අදහස් කර ඇති බවයි.

පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා පත්කළ පරාජය ගැන සෙවීමේ විමර්ශන කමිටුවට හිටපු නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී.පතිරණ, බ්‍රිගේඩියර් එච්.ඩී.ඩබ්ලිව්.කාරියවසම් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පත්මසිරි මුණසිංහ යන මහත්වරු ඇතුළත්වන අතර කණ්ඩායමේ කළමනාකරු එම්.එම්.රමීස්, ප්‍රධාන පුහුණුකරු ක්ලෝඩියෝ සිල්වේරා, සහය පුහුණුකරු ගුලාම් ආබෘ, ගෝල් රකින්නන්ගේ පුහුණුකරු ඩී.චන්ද්‍රසිරි, භාෂා පරිවර්තක සිසර අජන්ත හා සම්භාහක පී.කේ.සිල්වා යන මහත්වරුන්ගෙන් හෙට කමිටුව ඉදිරියේ පෙනී සිටිනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ භූතානය සමග තරගය නිමවී. ඡායාරූප: ප්‍රින්ස් ගුණසේකර

දරුණු පරාජය සෙවීමට පත්කළ කමිටුවේ පරීක්ෂණ කටයුතු හා වාර්තාව පිළිබඳව ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැඩි විමසිල්ලකින් පසුවන බවත් අවසන් වාර්තා

භූතානය සමග තරගයේ වීරයා ඉසෙදීන්

නායක සුරන්ද බණ්ඩාර

ව පාපන්දු විධායක සභාවට හා තමාට ඉක්මණින් ඉදිරිපත් කරන ලෙස පාපන්දු සම්මේලනයට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.

මේ අතර මාලදිවයින හමුවේ ගෝල් 10-0කින් ලද අන්ත පරාජය ගැන පූර්ණ විමර්ශනයක යෙදීමට පාපන්දු සභාපතිවරයා ගත් තීරණය තමා අනුමත කරන බව ශ්‍රී ලංකා පුහුණුකරු බ්‍රසීල ජාතික ක්ලෝඩියා රොබෝටෝ සිල්වේරා මහතා පවසයි.

ඒ සදහා පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා කමිටුවක් පත් කිරීමේ පුවත අසා තමා සතුටට පත්වූ බව සිල්වේරා මහතා සඳහන් කළේය. පාපන්දු ක්‍රීඩාව සාමූහික හැඟීමෙන් කළ යුතු ක්‍රීඩාවක් වුවද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතැම් අවස්ථාවලදී එලෙස ක්‍රියා නොකළ බව පවසන පුහුණුකරු ඒ ගැන නැවැත සොයා බැලිය යුතු බව ද පෙන්වා දෙයි.

මේ අතර ශ්‍රී ලංකා පාපන්දු නායක සුරන්ද බණ්ඩාර ‘දිනමිණ’ ට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසූවේ දකුණු ආසියානු පාපන්දු බලාපොරොත්තු සුන්වී යෑම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව ඉල්ලන බවයි. සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්කරදීමට තමා ඇතුළු කණ්ඩායම සූදානම් බව නායක සුරන්ද බණ්ඩාර පැවැසීය.

කණ්ඩායම තුල ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ට ලෙස බෙදීමක් ඇති බවට ඇතැම් අය ගෙන යන ප්‍රචාර අසත්‍ය බවත් එවැනි දෑ සිදු කරන්නේ ශ්‍රී ලංකා පාපන්දු අගාධයට යෑම බලා සතුටට පත්වන පිරිසක් බවත් ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යාංශය ඉතිහාසයේ කවරදාටත් වඩා ක්‍රීඩකයින්ට අවශ්‍ය පහසුකම් ලබා දී තිබියදී සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට නොහැකිවීම පිළිබඳ පසුතැවීමක් ඇතැයි සුරන්ද බණ්ඩාර පැවැසීය. “මා නායකයින් හතරදෙනෙක් යටතේ ක්‍රීඩා කළා.

බ්‍රසීල ජාතික පුහු­ණු­කරු සිල්වේරා

දෙවරක් උප නායකයා ලෙස කටයුතු කළා. මෙවර ලැබූ අත්දැකීම ඉතාම කටුක අත්දැකීමක් වුනා. මුල්ම තරගයේදී ‘ගෝල් කීපර්ට’ රෙඩ් කාඩ් එකක් ලැබුණාම අපේ තරග රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මාලදිවයින සමග තරගයේ පළමු මිනිත්තු 16දී අපට අවාසිදායක බොහෝ දේ සිදු වුණා” බණ්ඩාර පැවැසීය.

ශ්‍රී ලංකා පාපන්දු පිල මේ තරගාවලියේදී මාලදිවයිනට හා ඇෆ්ගනිස්තානයට මූලික වටයේදී පරාජයවී අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවූ අතර පසුව පැවැති භූතානය සමග තරගයේදී 5-2ක ජයක් ලැබීය. භූතානය සමග තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා පුහුණුකරු පැවැසූවේ අවසන් තරගයේදී ජය ගත්තද සමස්ථ තරගාවලියේදී ක්‍රීඩා කළ අයුරු පිළීබඳව සතුටු නොවන බවයි.

“පරාජයට හේතු අපි දැන් සොයා ගෙන තිබෙනවා. කොළඹට ගොස් ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකට යොමුවී කරුණු විශ්ලේෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. සියල්ල පාපන්දු සභාපති පත් කළ කමිටුවටත්, සභාපතිටත් පවසනවා”සිල්වේරා මහතා පැවැසීය.

“මාලදිවයින සමග පළමු තරගයේ පුදුම දේවල් සිදුවුණා. ඇතැම් සිදුවීම් මට හිතාගන්නවත් බෑ. සිදු නොවිය යුතු දේ සිදුවුනාම ඒ ගැන කා තුලත් කුතුහලයක් ඇති වෙනවා” සිල්වේරා මහතා දින කිහිපයකට උඩදී මාධ්‍යවේදීන්ට පවසද්දී තරග පාවාදීමක් සිදුවුණා කියා මතයක් ගොඩනැගී ඇතැයි මාධ්‍යවේදියෙකු සිල්වේරා මහතාට දැනුම් දුන්නේය. එහිදී ඒ මහතා පැවැසූවේ ඒ පිළිබඳව තමා විශ්වාස නොකරන බවයි.

“ගෝල් 10ක් අපට වැදුණේ කොහොමද කියා සොයා බැලීම් වැදගත් බව මා එක හෙළාම පිළිගන්නවා. ශ්‍රී ලංකාවේ පාපන්දු දියුණු කිරීමට පුළුවන් වෙනනේ පසු විපරමක් සමගයි. ඒකේ කිසිදු වරදක් නෑ. ඒකෙන් කිසිවෙකු මානසිකව වැටෙන්නේ නෑ. එය හැමෝම සුභවාදීව පිළිගත යුතුයි” පුහුණුකරු පැවැසීය.

මෙවර තරගාවලියේදී තරග තුනකට සහභාගීවූ ශ්‍රී ලංකා පිල ගෝල් 6ක් ලැබූ අතර එරෙහිව ගෝල් 15ක් වැදුණි. ශ්‍රී ලංකා පිල රැස්කළ ගෝල් 5න් හතරක්ම මොහොමඩ් ඉසෙදීන් වාර්තා කළ අතර භූතානය සමග තරගයේ වීරයාට හිමි සම්මානයද දිනා ගත්තේය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]