හම්බන්තොට බ්ලැක්ස් පිලට පළමු තරගයෙන්ම විශිෂ්ට ජයක්

හම්බන්තොට බ්ලැක්ස් පිලට පළමු තරගයෙන්ම විශිෂ්ට ජයක්

කාල්ටන් බාස්කට්බෝල් ශූරතාවලියේ පළමු කොටසේ 'බී' කාණ්ඩය ය‍ටතේ වත්තල කණ්ඩායම සමග පැවැති තරගයෙන් ලකුණු 71-30ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට හම්බන්තොට බ්ලැක්ස් පිල සමත්විය.

ඕල්ඩ් බෙන්ස් සහ කලම්බු බුල්ස් අතර තරගයේ අවස්ථාවක්.

බ්ලැක්ස් පිල සහභාගීවු පළමු තරගය මෙය වන අතර වත්තල පිලට හිමිවු දෙවැනි පරාජය මෙය විය. බ්ලැක්ස් පිල ජයග්‍රහණය කරා ගෙනගිය ටි.නෙතුෂාන් ලකුණු 19ක් රැස්කළ අතර පරාජිත වත්තල පිලේ වැඩිම ලකුණු සංඛ්‍යාව වුයේ පුෂ්පකුමාර රැස්කළ ලකුණු 9යි.

ඕල්ඩ් බෙන්ස් පිලට තවත් ජයක්

මේ අතර තරගාවලියේ තෙවැනි ජයග්‍රහණ හිමිකර ගැනීමට ඕල්ඩ් බෙන්ස් පිල සමත්විය. ඒ කලම්බු බුල්ස් පිල ලකුණු 86-52කින් පරාජයට පත් කිරීමෙනි.

මේ සමග තරගාවලියේ මෙතෙක් පැවැති තරගවලින් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් හිමිකරගත් කණ්ඩායම ලෙස බෙන්ස් පිල තරදුරටත් පෙරමුණේ පසුවෙයි. ඕල්ඩ් බෙන්ස් පිල තරගයේ පළමු භාගයේදී ලකුණු 34-29ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

ක්ලින්ටන් ස්ටැලෝන් ජයග්‍රාහී බෙන්ස් පිලට ලකුණු 33ක් හා ඩි.රාජපක්ෂ කලම්බු බුල්ස් පිලට ලකුණු 17ක් එක් කළේය.

ජැෆ්නා පිල පළමු ජය ලබයි

දෙවැනි කොටසේ 48 වැනි තරගය ලෙසින් වාසියන්ස් කණ්ඩායම සමග පොලිස් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 69-60ක ජයක් හිමිකර ගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය. මේ තරගාවලියේ ජැෆ්නා පිල ලැබූ ප්‍රථම ජයග්‍රහණය මෙය විය. ජයග්‍රාහී ජැෆ්නා ‍පිලට අබිකරන් ලකුණු 22ක් එක් කළ අතර විමුක්ති වාසියන්ස් පිල වෙනුවෙන් ලකුණු 36ක් රැස් කළේය.

තරගාවලියේ 15 වැනි දිනට පැවැති තරගවලින් මීගමුව නයිට්, ඕල්ඩ් මහින්දියන්ස් හා ඕල්ඩ් සේනානායකන්ස් ද ජයග්‍රහණ වාර්තා කළේය.

අමාල් පිටියේ පැවැති තරගවලින් මීගමුව පිල හමුවේ ග්‍රීන්ස් 'බී' ලකුණු 38-37කින් හා ඕල්ඩ් මහින්දියන්ස් හමුවේ බෆලෝස් 'බී' ලකුණු 53-41කින් පරාජයට පත්විය. සේනානායකන්ස් පිලට මිචෙල් මන් සමග තරගයෙන් ලකුණු 83-55ක ජයක් හිමිවුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා