අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට්

අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට්

ගුවන්-නාවික අවසන් තරගය 11දා

මෙරට දේශීය කාන්තා එක්දින තරගබිමේ විශිෂ්ටතම තරගාවලිය වන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ එක්දින තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 11දා එන්.සී.සී.පිටියේ දී පැවැත්වේ.

දිලානී මනෝදරාගේ නායකත්වයෙන් යුත් ගුවන් හමුදා කණ්ඩායම හා ශෂිකලා සිරිවර්ධනගේ නායකත්වයෙන් යුත් නාවික හමුදා කණ්ඩායම මෙවර අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා සිටියි.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ නාවික හමුදා පිල හා ගුවන් හමුදා පිල අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරග වටය අයහපත් කාලගුණය හේතුවෙන් අතහැර දැමිමට සිදුවීම හේතුවෙනි. නාවික හමුදාව කෝල්ට්ස් කණ්ඩායම සමගත්, ගුවන් හමුදාව යුද හමුදාව සමගත් අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට නියමිතව තිබිණි.

කාන්තා ජාතික ක්‍රිකට් සංචිතයේ ප්‍රබලතම ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත නාවික හමුදා පිල හා ගුවන් හමුදා පිල11දා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී උණුසුම් සටනක නිරත වනු ඇත.

මේ වනවිට තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය වන චමරි අතපත්තු (ලකුණු 314) ගුවන් හමුදා කණ්ඩායමට ඇතුළත් වන අතර ලකුණු ලාභිනියන් අතර දෙවැනි තැන සිටින දීපිකා රසාංගිකා (ලකුණු 252) හා තුන්වැනි ස්ථානයේ පසුවන ලසන්ති මධුෂානී (ලකුණු 238) නාවික හමුදා පිල නියෝජනය කරති.

පන්දු යැවීමේ දී වැඩි දස්කම් දැක්වීමට සමත්වූයේ යුද හමුදාව නියෝජනය කළ නිලක්ෂි සිල්වාය. ඇය කඩුලු 13ක් දවාලීමට සමත්වූ අතර ගුවන් හමුදාවේ ඕෂධී රණසිංහ කඩුලු 10ක් දවාලමින් දෙවැනි තැන පසුවන්නීය. නාවික හමුදාවේ ශෂිකලා සිරිවර්ධන සහ ඉනෝකා රණවීර, ගුවන් හමුදාවේ චමනී සෙනෙවිරත්න කඩුලු 9 බැගින් දවාලීමට සමත්වූහ.

මෙවර තරගාවලියට නාවික, ගුවන්, යුද, කෝල්ට්ස්, සදර්න් හා පාලින්ක් කණ්ඩායම් ඇතුළත් වූහ. මේ වනවිට සහභාගි වූ තරග 5ම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන නාවික හමුදාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම වන අතර තරග 4ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවන්නේ ගුවන් හමුදාවය.

මේ තරගාවලිය ලබන ඔක්තෝබර් මස 19වැනිදා ඇරැඹෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකානු සංචාරයට ක්‍රීඩිකාවන් තෝරාගැනිමේ තරගාවලියක් ලෙස ද සැළකේ. දකුණු අප්‍රිකානු සංචාරයට පෙර පුහුණු තරග 3ක් පැවැත්වෙන අතර මේ තරගාවලියෙන් තෝරගනු ලබන ක්‍රීඩිකාවන් ඊට ඇතුළත් වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා