මුද්‍රණය සඳහා

 
සිරියාව ගැන ඇස් ඇර බලන්න නැතිනම් ප්‍රතිඵල භයානක වෙයි

සිරියාව ගැන ඇස් ඇර බලන්න නැතිනම් ප්‍රතිඵල භයානක වෙයි

සිරියාවට පහරදීමට ලෝක සහාය ඉල්ලමින් ඔබාමා කියයි

සෙනසුරාදා පැවති යුරෝපා හවුලේ විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමේ දී සිරියාවේ රසායනික අවි ප්‍රහාරයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට තිරණය කර තිබේ. කෙසේවෙතත් සිරියාවට යුදමය මැදිහත් වීමක් කළ යුතු බවට සම්මුතියකට එළඹී නැත. මේ අතර ජනාධිපති ඔබාමා පවසා ඇත්තේ රසායනික අවි ප්‍රහාර සම්බන්ධයෙන් දී තිබූ ප්‍රතිඥාව පරිදි ක්‍රියාත්මක නොවී ඇස්වසා ගෙන සිටීමෙන් සමස්ත ලෝකයටම භයානක ප්‍රතිඵල අත්විදීමට සිදුවනු ඇති බවයි.

අප ජීවත් වීමට අපේක්ෂා කරන ආකාරයේ ලෝකයක් බිහි කර ගැනීමට නම් දෙපාර්ශවයේ ම කොංග්‍රස් මන්ත්‍රීවරුන් එක හඬින් නැඟී සිටිය යුතු බව ඔබාමා අවධාරණය කර තිබේ. සඳුදා කොංග්‍රස් මණ්ඩලය යළි රැස්වු පසුව ලබන අඟහරුවාදා ජනාධිපති ඔබාමා ජාතිය ඇමතීමට නියමිතය.

සිරියාවට එරෙහිව යුදමය ක්‍රියා මාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් යුරෝපා හවුලේ රටවල සහයෝගය ලබා ගැනීමට අමරිකානු විදේශ කටයුතු ලේකම් ජෝන් කෙරී ලිතුවේනියාවේ පැවැත්වෙන යුරෝපා හවුලේ විදේශ කටයුතු අමාත්‍ය රැස්වීමට සහභාගි වි තිබේ. ඉන් අනතුරුව ඔහු ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරුන් ද ඊයේ මුණ ගැසීමට නියමිත විය. මේ අතර ගල්ෆ් සහයෝගිතා කවුන්සලය ද සිරියානු ජනයාට එරෙහිව අසාද් රජය එල්ල කළේ යයි කියන ම්ලේච්ඡ රසායනික අවි ප්‍රහාරවලින් ඔවුන් බේරා ගැනීමට ජාත්‍යන්තරය මැදිහත් විය යුතු බවට බල කර ඇත.

මේ අතර රුසියන් ජනාධිපති පුටීන් තවමත් අවධාරණය කරන්නේ ජගත් ආරක්ෂක කවුසලයේ අනුමැතියකින් තොරව සිරියාවට ප්‍රහාර එල්ල නොකළ යුතු බවයි. ජගත් සංවිධානයේ සංඛ්‍යා ලේඛන අනුව සිරියානු සිවිල් යුද්ධය හේතුවෙන් මෙතෙක් මිය ගිය සංඛ්‍යාව 110 000 කට අධිකය. දේශීය වශයෙන් අවතැන් වී ඇති සංඛ්‍යාව මිලියන 4 .2 ට වැඩිය. අවට රටවල සරණ පතා ගිය සරණාගතයන් ගේ සංඛ්‍යාව මිලියන 2 ක් ඉක්මවයි. මෙය අසල්වාසී රටවලට මහත් හිසරදයක් වී ඇත.

මේ අතර අගොස්තු 21 වැනිදා මාරාන්තික රසායනික අවි ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 1400 ක් පමණ බව වාර්තා වේ. ජගත් මහ ලේකම් බෑන් කී මූන් පවසන්නේ සිරියාවේ දරුණු මානුෂික ඛේදවාචකය සාමකාමී ක්‍රියා මාර්ගයකින් විසඳා ගත යුතු බවය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]