මුද්‍රණය සඳහා

 
සෝමාලියාවේ අගනුවර බෝම්බ පුපුරයි

සෝමාලියාවේ අගනුවර බෝම්බ පුපුරයි

සෝමාලියා අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු

මරණ 18යි

සෝමාලියාවේ අගනුවර මොග‍දේෂු නගරයේ ඊයේ සිදුවූ ප්‍රබල බෝම්බ ප්‍රහාර දෙකකින් 18 ‍දෙනෙක් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. එහි වගකීම ක්ෂණිකව ඉස්ලාමීය ෂෙබාබ් ත්‍රස්තවාදීන් විසින් බාරගෙන තිබේ. ජාතික සිනමා ශාලාවක් ඉදිරියේ ප්‍රබල පිපිරීම් දෙකක් සිදුවූ බව පොලිස් නිලධාරී මොහොමඩ් දහිර් පවසයි. ඉන් එකක් කාර් බෝමබයක් වූ බවත් අනික මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයක් බවත් වාර්තා වේ.

අල්කයිඩාවට සම්බන්ධ ෂෙබාබ් ත්‍රස්තවාදීන් පවසන්නේ ප්‍රහාරයෙන් ප්‍රධාන පෙළේ නිලධාරීන්ද මිය ගිය බවයි. එරට ජනාධිපතිවරයා මෙන්ම සෝමාලියාවේ සිටින ජගත් මහ ලේකම්ගේ විශේෂ නියෝජිතයා එම බිහිසුණු ප්‍රහාරය දැඩි සේ හෙළෘ දැක තිබේ.

ප්‍රහාරය සිදුවු ස්ථානයේ සිනමා හල දසක කිහිපයකට පසුව යළි විවෘතකර ඇත්තේ වසර 2012 දියි. ඉන් සති දෙකකින් පසු උසස් පෙළේ ක්‍රීඩා නිලධාරීන් දෙදෙනෙක්ට මරු කැඳවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ඊට එල්ල කර ඇත.

වසර 1991 දී සෝමාලියා මධ්‍ය රජය බිඳ වැටීමෙන් පසුව පසුගිය නොවැම්බර් මාසයේ සිට එරට පාලනය කරනු ලබන්නේ ජගත් සංවිධානයේ සහාය ලබන රජයක් විසිනි.

17,700 ක් පමණ වු අප්‍රිකා හවුලේ හමුදා භටයන්ගේ සහාය ඇතිව එරට රජයේ හමුදා විසින් ෂෙබාබ් ත්‍රස්තවාදීන්ට එරෙහිව එල්ල කරන ප්‍රහාරවලින් ඔවුන් බොහෝ ප්‍රදේශවලින් පලවා හැර ඇත. කෙසේවෙතත් සෝමාලියාවේ දකුණු සහ මධ්‍යම ඈත ගම්බද ප්‍රදේශවල ඔවුන්ගේ බලකොටු තවමත් ක්‍රියාත්මක වේ. තවත් කොටසක් අර්ධ ස්වයං පාලනයක් ඇති උතුරු දිග කඳුකරයේ පන්ට්ලෑන්ඩ්වල සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]