මුද්‍රණය සඳහා

 
රත්තරන් පොතට ලක්ෂ පහක්...!

රත්තරන් පොතට ලක්ෂ පහක්...!

සාහිත්‍යයට සේවයක් කිරීම සඳහා එළැඹෙන ඕනෑම ආයතනයක් කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතු යැයි අපට සිතේ. පළමුවන්න නම්; නූතන සමාජයට ප්‍රයෝජනවත් හා අර්ථසම්පන්න සාහිත්‍යයක් ඇති කිරීම වෙනුවෙන් උපාය මාර්ග සෙවීම ය. දෙවැන්න සාහිත්‍යකරුවාගේ ආර්ථික වටිනාකම ස්ථාවර මට්ටමකට ගෙන ඒම සඳහා සැලැසුමක් ඇති කිරීමට උත්සුක වීම ය. නූතන සිංහල සාහිත්‍යයේ ආරම්භය 19 සියවසේ මුල් කාර්තුව තෙක් ඉතිහාසයට ගමන් කරන නමුදු එබඳු වැඩසටහනක් පිළිබඳ තොරතුරක් මෑතක් වනතුරුම දැක ගන්නට නොලැබිණි.

අපට පැවැතියේ සාම්ප්‍රදායික උත්සව, සාම්ප්‍රදායික සම්මාන, සාම්ප්‍රදායික සංවාද ආදිය යි. ඒවා සාහිත්‍යය පිළිබඳ අලුත් උනන්දුවක් ඇති කළේ නැත. සාහිත්‍ය ප්‍රවර්ධනය සඳහා ලෝකය සමඟ අත්වැල් බැඳගත හැකි ක්‍රමයක් අපට ද තිබිය යුතු ය. අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් සාහිත්‍ය සම්මාන උත්සව සියයකට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂික ව පැවැත් වේ. ඒවා සංවිධාන කරනු ලබන්නේ පෞද්ගලික ඇකඩමි හා සංගම් ය. ශ්‍රී ලංකාවේ අපට අමෙරිකානු විය නො හැකි ය. එහෙත් සාහිත්‍යය සම්බන්ධයෙන් ඉදිරිගාමී වැඩසටහනකට යන්නට අධිෂ්ඨානයක් අප තුළ පැවැතිය යුතුය.

මේ සංවාදයේ දී අපගේ නො වක් අවධානය යොමු වන්නේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත ය. ඔව්හු සිංහල නවකතාවට අලුත් වටිනාකමක් ලබා දුන්හ. එම විෂයයෙහි නව ප්‍රබෝධනයක් හා ප්‍රවණතා රැසක් ද ඇති කළහ. සිංහල ස්වතන්ත්‍ර නවකතාව කිසිවකුගේ සැලැකිල්ලට ලක් නො වූ කාලයක් තිබිණි.

ඒ සමඟ එහි අභාවය ද සටහන් වී තිබිණි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ස්වර්ණ පුස්තක නවකතා සම්මානය කරලියට ගෙන එන්නේ එම අවස්ථාවේ ය. මේ ක්‍රියාවලියත් සමඟ නවකතාව පිළිබඳ අලුත් සංවාදයක් ඇති විය. නවකතා රචනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. සිංහල සාහිත්‍යයේ අනෙකුත් අංශ පරයා නවකතාව ඉදිරියට පැමිණ තිබේ.

හොඳම නවකතාව තෝරා ඊට සම්මානයක් හා මුදල් ත්‍යාගයක් පිරිනැමීම බරපතළ කාර්යයෙකි. නොබෙල් ත්‍යාගය, පුලිස්ටර් ත්‍යාගය, මෑන් බුකර් සම්මානය, පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රබන්ධ කථා සම්මානය, ගොර්තේ සම්මානය, අරාබි ප්‍රබන්ධ සම්මානය, අප්‍රිකානු ප්‍රබන්ධ සම්මානය, හෙමිං වේ සම්මානය යන කොයි සම්මාන උලෙළත් බරපතළ ය. ඒවායෙහි විනිශ්චයන් හැම විටම විසංවාදිත ය. ස්වර්ණ පුස්තක සම්මාන උලෙළෙහි විනිශ්චයන් ගැන ද විවිධ ප්‍රශ්න කිරීම් තිබේ. එහෙත් මේ සම්මාන උලෙළ ඒ මගින් අවතක්සේරු වන්නේ නැත.

සිංහල නවකතාවට හා නවකතාකරුවාට වාණිජ වටිනාකමක් ලබා දිය හැකි නම්; එය බලවත් කුසල කර්මයෙකි. ලෝකය පිළිගත් ජනප්‍රිය පොත් වෙළෙඳ පොළකට එක පොතක් ඉදිරිපත් කළ හැකි නම්; ලේඛකයකුගේ ජීවිත කාලයට ම එය ප්‍රමාණවත් වනු ඇත. එහෙත් සිංහල නවකතා හා වෙනත් පොත් අන්තර්ජාතික වෙළෙඳ පොළට ඉදිරිපත් කළ හැකි ක්‍රමයක් නැත. එබැවින් සිංහලෙන් නවකතා සීයක් ලියන පුද්ගලයා ද අමු හිඟන්නෙකි. ඔහු රාජ්‍ය සාහිත්‍ය උත්සවයට පැමිණ තඩි සම්මානයක් ද රැගෙන බසයක් එනතුරු “හෝල්ට්” එකේ රස්තියාදු විය යුතු ය. ශ්‍රී ලංකාවේ දී ලියන්නා හිඟන්නා වන්නේ ඒ අයුරින් ය.

නූතන ලෝක නවකතාවට මහත් බලපෑමක් කරන හරුකි මුරකාමි ලියන්නේ ජපන් භාෂාවෙන් ය. එහෙත් ඔහුගේ ප්‍රබන්ධ ඉතා ඉක්මනින් ඉංග්‍රීසි භාෂාවට පෙරැළෙන අතර ඒවා වෙළෙඳ පොළට එනතුරු පාඨකයෝ බලා සිටිති. මුරකාමිගේ ඇතැම් පොත් ඉංශ්‍රීසි සංස්කරණ කිහිපයකින් යුතුව නිකුත් වෙයි. “වෙරළබඩ කෆ්කා” (Katra on the shore) කෘතිය ඊට හොඳම නිදසුන ය. එය යුරෝපීය රටවල අලුත් කේක් මෙන් අලෙවි වෙයි. මෙබඳු ක්‍රමවේදයක් සිංහල නවකතාකරුවා සඳහා සකස් කළ නොහැකි ද? ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එම අභියෝගය භාරගෙන ඇති බව දැනගන්නට ලැබේ.

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය දේශීය සාහිත්‍යයේ උන්නතිය උදෙසා සැලැකිය යුතු මෙහෙයක් ඉටු කරන බව අප පිළිගත යුතු ය. සැප්තැම්බර්යේ පොත් ප්‍රදර්ශනය මෙන් ම “ස්වර්ණ පුස්තක” සම්මාන උලෙළ ද ඊට සාක්ෂ්‍ය ලෙස පවතී. පොත් ප්‍රදර්ශනය පිළිබඳ විශාල උනන්දුවක් ජනතාව තුළ තිබේ. එය ඇති කළේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යි. සිංහල නවකතාව පිළිබඳව බලවත් උනන්දුවක් ද ලේඛක - පාඨක දෙපිරිස අතරේ පවතී.

එය ඇති කළේ ද පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යි. ‘ස්වර්ණ පුස්තක’ සම්මාන උලෙළ ආරම්භ වූයේ 2007 දී ය. අද එය රටේ ජාතික උත්සවයක් බවට පත් වී ඇතැ’යි කිවහොත්; එහි අතිශයෝක්තියක් නැත.අප බොහෝ සාහිත්‍ය උත්සව දැක ඇත්තේ පරණ ඉස්කෝල තුළ දී ය. ඒවායෙහි පරණ ඩෙස් - බංකු අතරින් නැඟී එන ලේඛකයෝ සම්මාන රැගෙන වහා පලා යති. නැටුමක්, බෙර වාදනයක්, හක් පිඹීමක් තිබූ පමණින් සාහිත්‍ය උලෙළක් සාර්ථක වන්නේ නැත. පොල් තෙල් පහනක් දල්වා බරසාර දේශනයක් පැවැත් වූ තරමින් ද සාහිත්‍ය උලෙළක් සාර්ථක වන්නේ නැත. සාහිත්‍යයේ උන්නතිය සඳහා සාහිත්‍යකරුවා ගැනද පෙරළා බැලිය යුතු ය.

ලේඛකයාගේ අතට දැනෙන අයුරින් ත්‍යාගයක් දීමට පළමුවරට ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යි. එහි හත්වන අදියර ද පෙරේදා සම්පූර්ණ කැරිණි. හොඳම නවකතාව ලෙස කීර්ති වැලිසරගේ ‘කාල සර්ප’ නවකතාව තේරී පත් විය. ලේඛකයාට රුපියල් ලක්ෂ පහක ත්‍යාගයක් ද හිමි විය. මේ සියල්ල සිංහල සාහිත්‍යයේ ප්‍රගමනය සඳහා හේතු සාධක වන බව අපගේ විශ්වාසය යි.

ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ අරභයා මතු වූ සාහිත්‍ය සංවාදය ද ඉතා වැදගත් ය. සාහිත්‍යයට හා කලාවට ශාස්ත්‍රීය සංවාද පමණක් නොව මහජනයා සහභාගී කරවන ජනප්‍රිය සංවාද ද අවශ්‍ය වේ. මේ අංශ දෙක කෙරෙහි ම උනන්දුවක් ස්වර්ණ පුස්තක සම්මානය ඔස්සේ ගොඩනැඟී ඇත.

වඩාත් වැදගත් සාධකය වන්නේ වැඩි - වැඩියෙන් නවකතා නිකුත් වීම ය. මෙවර සම්මාන උලෙළ සඳහා නවකතා 116ක් සැලැකිල්ලට ගෙන ඇත. මාස දොළහක් වැනි කාලයක් තුළ නවකතා සියයකට වැඩි ගණනක් පළවීමම යහපත් ප්‍රවණතාවකි. මේ තත්ත්වය ඉදිරියටත් පවත්වා ගැනීමට පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පමණක් නො ව; රාජ්‍ය අංශයේ අදාළ අනෙකුත් ආයතන ද උත්සුක විය යුතුය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]