මුද්‍රණය සඳහා

 
තුවාල හොඳ වීගෙන එනකොට පතුරු ගහන්න එපා

තුවාල හොඳ වීගෙන එනකොට පතුරු ගහන්න එපා

සිවිල් ගුවන් සේවා ඇමැති - පියංකර ජයරත්න

වයඹ, මධ්‍යම සහ උතුරු පළාත්වල පළාත් සභා මැතිවරණය ලබන 21 වනදා පැවැත්වේ. ඒ සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න මහතා සමඟ දිනමිණ සිදු කළ සාකච්ඡාවකි.

ඇමැතිතුමනි, වත්මන් දේශපාලන වාතාවරණය ඔබ දකින්නේ කොහොමද?

මා විශ්වාස කරන අන්දමට නිදහසින් පසු ශක්තිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග අතින් පිරුණු රාජ්‍යයක් පවතින කාලවකවානුවක් ලෙසයි එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ක්‍රියාකලාපය මා දකින්නේ. එපමණක් නොවෙයි ඔබ දන්නවා විධිමත් රාජ්‍ය කළමණාකරණයක් සහිත ඵලදායිතාව ඉහළින් ක්‍රියාත්මක වන රාජ්‍ය කළමණාකාරිත්වයක් අප සතුව පවතීන බව.

අපි අද නිවැරැදි දිශාවකට යොමු කර තිබෙනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දුරදර්ශි වැඩපිළිවෙළ තුළ ඉදිරි අනාගත සංවර්ධන තවදුරටත් මෙහෙය වන කෙටි කාලීන දේශපාලන අරමුණුවලින් බැහැර වී සුබ සාධනය සලසන ගමන්ම රටේ ස්ථාවරය පවත්වා ගෙන යා හැකි වී තිබෙනවා.

මේ නිසා තමයි වරායවල් හැදෙන්නේ, ගුවන්තොටුපලවල් හැදෙන්නේ, අධිවේගී මාර්ග හැදෙන්නේ මේවායේ ප්‍රතිඵල එක රැයකින් බලාපොරොත්තු වෙන එක ගැන හිතන එක අසාධාරණයි.

ආණ්ඩුවට ද්වේශයෙන් චෝදනා කරනවට වඩා සාධාරණ විවේචනයක් කරනවා නම් ඒකයි. මේ මොහොතේ වටින්නේ අද වැඩිහිටි සියලු දෙනාගේ වගකීම වෙන්නේ ශක්තිමත් රටක්, ඊළඟ පරම්පරාවට නිර්මාණය කර දීම. එහෙම නැතුව මහා කැපකිරීම් සම්භාරයක් කරලා බේරා ගත් රට නැවත විදේශ බලවේග එක්ක එකතුවෙලා ලේ විලක් කරන එක නොවේ.

ඒ වුණාට රටේ ජීවන වියදම ඉහළයි. ජනයා පීඩාවට පත්වෙලා තියනවා කියලයි විපක්ෂය කියන්නේ, මේ ගැන මොකද හිතන්නේ?

විපක්ෂය හැමදාම බැලුවේ ජනතාව පිඩාවට පත් වෙලා තියනවා කියලා දේශපාලනය කරන්න. නමුත් මේ රටේ පැවති සාමකාමී මැතිවරණ සියල්ලම අපි ජයග්‍රහණය කළා. එතකොට ජනතාව කියන්නේ රටේ ප්‍රශ්න තිබුණත් ආණ්ඩුවේ ගමන් මඟ නිවැරැදියි කියන එකනේ. රටේ ජනතාවට ගැටලු නැති වෙන්න බැහැ. අපි ඉන්නේ පශ්චාත් යුද සමයක. සෑම රටක්ම දරුණු යුද්ධයකට මුහුණ දීලා නැවත ගොඩ නැඟෙන විට යම් යම් ගැටලු ඇති වෙනව‍ා.

යුද්ධය නිමා වෙන විට උතුරේ බොහෝ විනාශයන් සිදු වෙලා තිබුණේ. වසර ගණනාවකින් විධිමත් ලෙස යටිතල පහසුකම් ගොඩ නඟලා නැහැ. බොහොමයක් ප්‍රශ්න එකම තැන පල් වෙලා තිබුණෙ. වෙනත් රටවල පශ්චාත් යුද සමයන්හි ඉටු නොකළ, ලබා නොගත් ජයග්‍රහණ රැසක් මේ රජය ලබා ගෙන තියනවා. අවතැන් වු අය යළිත් පුරුදු ස්ථානවලට යොමු කරලා. බිම් බෝම්බ තවාන් පිටින් ඉවත් කරලා තියනවා. දැන් අපි ඉන්නේ සාමකාමී පරිසරයක. අද විදුලි සැපයුම 90% දක්වා වැඩි වෙලා.

මිනිසුන්ගේ අධ්‍යාපන දැනුම වැඩි කරන්න තාක්ෂණය ගම්මානවලට ගෙනියන්න ක්‍රියාකාරකම් නිර්මාණය වෙනවා. ඊළඟ පරම්පරාවේ දක්ෂතා රටටම ලබා ගැනීමට හැකි පරිදි අපි මෙම සමාජය ශක්තිමත් කරමින් සිටිනවා ඒ තත්ත්වය තුළ අද අප සියලු දෙනාටම යම් යම් කැප කිරීම් කරන්නට සිදු වේවි. එහෙම නොකළොත් හෙට උපදින දරුවන්ගේ අනාගතය අදුරු වේවි.

ඇමැතිතුමනි, 13වන ව්‍යවස්ථාව සංශෝධනය ගැන විවිධ මත තියෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

මේක අපේ රට. අපි ජීවත් වෙලා මැරෙන රට. අපි මේ රට ඉදිරි පරම්පරාවට භාර දීලා මිය යන්න ඕනෑ ආයෙත් රටේ ලේ වැගිරීමක් ඇති නොවන විදියටයි. 1815 පස්සේ අපේ රටේ විවිධ කැරලි කෝලාහල ඇති වුණා. සමහර ඒවා විමුක්ති අරගල, සමහර ඒවා ජාතිවාදී ස්වරූපයෙන් ආපු අරගල, ජාතිවාදී අරගලවලට පසුබිම් වෙලා තිබුණේ එකිනෙකා කෙරෙහි වු වෛරය සහ ක්‍රෝධය. මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු හැම වර්ගයකම මිනිස්සු ඇති තරම් ලේ හැලුවා.

මිනිස්සු මැරුණා, පාරවල් දිගේ ලේ ගලාගෙන ගියා, ආයෙත් බෙදුම්වාදී විෂ බීජය පතුරවන්න 13 ව්‍යවස්ථාව සංශෝධනය ඉවහල් වෙනවා. මේ පුංචි රටේ ආයුධ සහිත පොලිස් බලතල සහිත පළාත් 08ක් ඇති වුණොත් ඒකේ ප්‍රතිඵල හිතාගන්නවත් බැහැ. එක් පැත්තකින් පොලිස් අවසරය නොදුන්නොත් කිසිම පළාතකට රාජ්‍ය නායකයාට යන්ඩ බැරි වෙයි. මාධ්‍යවේදින් වන ඔබට නිදහසේ මාධ්‍ය කටයුතු කරන්න පළාතකින් තවත් පළාතකට යන්න බැරි වෙන්න පුළුවන්.

අද පළාත්වලට ඕනේ පොලිස් බල තල හෝ ඉඩම් බලතල නොවෙයි. පළාත් තුළ සමානුපාතිකව සංවර්ධනය කරන එක. මිනිසුන්ගේ මුලික ගැටලුවලට විසැඳුම් සපයලා දිලා රජය ආරක්ෂාව සහතික කරලා දුන්නාම සියලු ගැටලු විසැදෙනු ඇත.

අද වගේ ආණ්ඩුවයි පළාත් සභාවයි එක පක්ෂයකින් තිබුණොත් යහපත්. නැත්නම් වෙන්නෙ සංහිඳියාව වෙනුවෙන් අරගල කරන්න. විරුද්ධ පක්ෂ මත දරන මිනිසුන්ටත් අගතියක් සිද්ධවේවි. තව පැත්තකින් අපි දැක්කා උතුරේ අරගලය වෙලාවේ සන්නද්ධ පොලිසියක් උතුරේ හිටියා.ඔවුන් කටයුතු කළේ අර්ධ මිලිටරි හමුදාවක් විදියට.

රටේ ආරක්ෂාවට වගකියන්න ඕනි මධ්‍යම රජය. හැම වර්ගයකම මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය රකින්න ඕනෑ. ජනාධිපතිතුමා අද සෑම වර්ගයකම මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපී පෙනෙන වැඩ කොටසක් සිදු කරනවා. සංශෝධනය තුළින් නැවත හදන්ඩ හදන්නේ උතුරේ අලුත් ජන කොට්ඨාශයක් ජීවත්වන බව. අපි ශ්‍රී ලාංකිකයෝ විදියට සිතමු. බෙදුම්වාදය වෙනුවෙන් අප කැප කරපු ජීවිතවල වන්දිය අපට උපදෙස් දෙන රටවලට ගෙවන්න බැහැ.

උතුරේ ජනතාව දකුණේ ජනතාව කියලා වර්ගීකරණයක් අවශ්‍ය වන්නේ නැහැ. අද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් උතුරු පළාතේ බැසිල් රාජපක්ෂ ඇමැතිතුමාගේ නායකත්වයෙන් සිදු කරනවා. මේ තුවාල සුව වීගෙන එන වෙලාවේ යළිත් පතුරු ගහලා හම ගහලා ලේ ගලන්න සලස්වන එක මහ අපරාධයක්. උතුරේ අධිවේගී මාර්ග හැදුණම අපිට සුළු කාලයකින් ඒ පළාත්වලට යන්න පුළුවන්.

පළාත් සභා ක්‍රමය ගැන මොකද හිතෙන්නේ?

අපි අද මැතිවරණ 11 ක් පවත්වා තිබෙනවා. ඒ සියල්ලම ජයග්‍රහණය කළා. වගේම ඊටත් වැඩි ජයග්‍රහණයක් මේ ඡන්දයෙන් ලැබෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒකට හේතුව තමයි විපක්ෂයක් නැතිකම. ජාතිද්‍රෝහීන් ලෙසයි. විපක්ෂය කටයුතු කරන්නේ. ඊයේ පෙරේදා මේ රට ගිනි තියන්න ආපු නවනීදන් පිල්ලේ මහත්මියට ගිහින් කේළම් කියලා රට අරාජික කරන්න ඔවුන් දැඩි මහන්සියක් ගත්තා. එයා ආවේ කොටි ත්‍රස්තවාදය නැති කළ එකේ පළිය ගන්න.

අපේ රට ගැන කේළාම් කීවාම අපහසුතාවට පත් වෙන්නේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ රණවිරුවන්. මොවුන්ට එරෙහිව කේළාම් කියන එකට මේ රටේ මිනිසුන්ගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. නවනීදන් පිල්ලේ පිළිගත්තා කොටීන් ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන් බව. ඉතින් ‍ප්‍රශ්නයට පිළිතුර එතැනම තියෙනවා. දරුණු ත්‍රස්තවාදයක් විනාශ කරන්න ඒ අයගේ භාෂාවෙන්ම පිළිතුරු දෙන්නට සිදු වෙනවා. රජයට සිදු වුණේ ඒකයි.

මේ යථාර්ථය එ. ජා. ප. නායකයාට තේරෙන්නේ නැති තාක් මේ රටට විපක්ෂයක් ඉතිරි වන්නේ නැහැ. අනෙක ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කීවා. මේ රටේ මිනිස්සු අවිහිංසාවාදය ගැන වඩාත් විශ්වාසයක් තියන අයයි කියලා. ඒ අය ඉතිහාසය පුරාම සිදු කළ දේ මේ රටේ ජනතාව දන්නවා.

ඔබේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන දැයට කිරුළ ගැන යමක් කීවොත්...

ඇත්තටම මෙම ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රිකක්කය තුළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා තීරණය කිරීම ඉතාම කාලෝචිත අදහසක්. මෙම ජාතික වැඩ සටහනට ආර්ථික සංවර්ධන ඇමැතිවරයා නව මුහුණුවරක් ලබා දී තියෙනවා. ග්‍රාම සේවා වසම් 548 තුළ ජන හමු පවත්වලා එයාලගේ ගැටලු පිළිබඳ සියලුම නිලධාරීන් කතා කරනවා.

ඒක දුෂ්කර ගම්මානවල ඉන්න ජනතාව ලැබුණු හොඳ අවස්ථාවක්. එක් අතකින් රාජ්‍ය. නිලධාරීන්ටත් ගම්වල සැබෑ තතු දැන ගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා.සමහර වේලාවට ඉතා පුංචි ගැටලු තියෙනවා. ඒවාට විසැඳුම් දෙන්න පුළුවන්.

වසර ගණනක් කල් මරපුවා ඉක්මනින් විසැඳුම් ලබා දීමත් මේ වැඩ සටහනේ සුබවාදී තත්ත්වයක්.දැයට කිරුළ ජාතික වැඩ සටහන හුදෙක් සංදර්ශනයක් විතරක් කියපු විපක්ෂය දැන් බනිනවා.ජනතාවගේ ගැටලු විසඳන්න ගමට යනවා කියලා .පුත්තලම දිස්ත්‍රික්කය තුළ දැයට කිරුළ වැඩ සටහනට නව හැඩයක් ගේනවා.

අනෙක් පැත්තෙන් දුෂ්කර ගම්මාන රැසකට ලොකු වැඩක් වෙනවා.මා කතා කළේ විශේෂයෙන් ආණමඩුව ගැන වුණත් අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මිලියන දහස් ගණනක සංවර්ධන අරමුදල් වෙන් කරලා තියෙනවා .

මේ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට වෙන් කර ඇති මුදල රු. මිලියන 15.5 ක්. ඒ තුළින් මෙම දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන රැසක ගැටලුවලට විසැඳුම් ලැබේවි. මේ ව්‍යාපෘතිය බලාගෙන කරපු එකක් නොවෙයි. මාස ගණනකට කලින් ජනාධිපතිතුමා ගත් තීරණයකට අනුව කෙරෙන මහා සංවර්ධන වැඩ සටහනක්.

විපක්ෂය කියන විදියට රටේ සල්ලි වියදම් වෙනවා කියලා රටේ සංවර්ධන වැඩ සටහන් නතර කරන්න බැහැනේ .ඒක අඛණ්ඩ ක්‍රියාවලියක් විදියට ඉදිරියට යන්න ඕනෑ . ඒවායේ තියෙන අඩුපාඩු පෙන්වන එකයි සාධාරණ වෙන්නේ වසර ගණනාවකට පස්සේ මේ දිස්ත්‍රික්කය තුළ ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවිලා නැහැ.

ඒ අඩුව මේ තුළින් පිරිමහගන්න අපි කණ්ඩායමක් විදියට උත්සාහ ගන්නවා. දූවිලි නැ‍ඟෙන පාරවල් කාපට් කරලා කුඩා ගොවීන්ගේ වැව් ටික හදලා දීලා ආර්ථිකය නංවා අපට නිදහසේ හුස්ම ටික හැරලා මිය යන්න පුළුවන්. අපේ මේ විනාශ වන රට ගොඩනැඟීම අපගේ වගකීම ලෙසයි මා දකින්නේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]