මුද්‍රණය සඳහා

 
ජනප්‍රිය පාසල් ගැටලුවට 2015දී විසැඳුම් ලැබෙනවා

ජනප්‍රිය පාසල් ගැටලුවට 2015දී විසැඳුම් ලැබෙනවා

* දැන් තියෙන විෂය මාලාව දරුවන්ට බර වැඩියි කියලා චෝදනාවක් තියෙනවා

* මවුපියන් කරදරකාරයන් ලෙස අප දකින්නේ නැහැ

- අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක

අධ්‍යාපන අමාත්‍යාංශය යනු රටේ ප්‍රමුඛතම අමාත්‍යාංශයකි. රටේ අනාගතය සකස් කරන රටේ දිශානතිය තීරණය කරන අමාත්‍යාංශයක් ලෙස මෙය හැඳීන්විය හැකිය. ලක්ෂ 40ක් දරුවෝ සිප්සතර හදාරති. ඒ දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනුයේ අධ්‍යාපන අමාත්‍යාංශය මඟිනි. එහි ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වන්නේ අධ්‍යාපන ලේකම්තුමායි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ ගැන එහි ලේකම් අනුර දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අමාත්‍යාංශයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හැඳින්විය හැකියි. එහි ලේකම් ධුරය අනෙක් අමාත්‍යාංශවල ලේකම් ධුරවලට වඩා භාරදුර කාර්යයක්. ඔබ මේ තනතුරට පත්වී සති කිහිපයක් පමණයි. අධ්‍යාපන ලේකම් ලෙස ඔබගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන පැහැදිලි කිරීමක් කරන්න?

අධ්‍යාපන අමාත්‍යාංශයට පුළුල් හා සංකීර්ණ විෂය ක්ෂේත්‍රයක් අයත් වෙනවා. එහිදී ජාතික ප්‍රතිපත්තියට අනුකූල රාජකාරි රාශියක් අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරී තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කිරීම, විභාග පැවැත්වීම, විෂය මාලා සකස් කිරීම, පෙළ පොත් සකස් කිරීම ආදී කටයුතු දිවයිනේ පළාත් නවයක් සමඟ ඉතා සහයෝගයෙන් සහ සංහිඳියාවෙන් පවත්වාගෙන යාම තමයි අපට තිබෙන අභියෝගය. රට පුරා සිටින දරුවන් ලක්ෂ 40ක් ගුරුවරුන් 2,25,000ක් අපේ සේවය ලබාගන්නවා. අධ්‍යාපන ක්‍රියාදාමය වඩාත් ප්‍රශස්තව පවත්වාගෙන යාම සඳහායි ඇමැතිතුමාගේ මාර්ගෝපදේශයක්තවය යටතේ මම පසුගිය මාසයේ රාජකාරි භාරගත්තේ.

21 වැනි ශතවර්ෂයේ වෙළඳ පොළ ආර්ථිකයට ගැළපෙන ක්‍රමවත් අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසීම සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් සිදුකිරීමයි අපේ අරමුණ.

ඵහිදී ගුරු සේවයේ ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම සඳහා සියලුම ගුරු සංගම් සමඟ ඉදිරි දින 30 ඇතුළතදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනවා. විද්වත් මණ්ඩලයකින් සමන්විත කමිටුවක් සමඟ සාකච්ඡා කරල වඩා හොඳ ගුරු සේවයක් ස්ථාපිත කිරීමට කුමන ආකාරයෙන් මැදිහත් විය යුතුද යන්න මෙහිදී සොයා බැලෙනවා. එම කමිටුවේ වාර්තාව පැමිණි පසු අපේ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට ක්‍රියාත්මක කළ යුතු ක්‍රමෝපායන් පිළිබඳ තීරණය කරනවා.

වර්තමාන පාසල් විෂයමාලාව ගැන විවේචන එල්ලවෙලා තියනවා නේද?

අද හැමෝම කියන දෙයක් තමයි දැන් තියෙන විෂය මාලාව දරුවන්ට බර වැඩියි කියන චෝදනාව. මම ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා. ඒ පිළිබඳ විද්වත් මණ්ඩලයක් පත්කරල සාකච්ඡා වට දෙකක් පැවැත්වූවා. එහිදී අනෙකුත් කලාපීය රටවල තියෙන අධ්‍යාපනයට සමගාමීව අපේ විෂයමාලාව කුමන ආකාරයෙන් සකස් විය යුතු ද යන්න විමසා බැලෙනවා. මේ සියලු කරුණු පදනම් කරගෙන දරුවන්, ගුරුවරුන්, මවුපියන් යන මේ සියලු ක්ෂේත්‍ර වඩාත් ආකර්ෂණය කරන ක්‍රමවේදයකට යොමුවීමයි අපේ මේ උත්සාහය.

ඊට අමතරව නවීන අධ්‍යාපන ක්‍රමෝපායන් හඳුන්වාදීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ රාශියක් කරන්නට තිබෙනවා. එහිදී මහින්ද චින්තන ඉදිරි දැක්ම පුනර්ජීවන වැඩසටහන ඔස්සේ දිවයිනේ පාසල් 9700 අතුරෙන් තෝරාගත් පාසල් 1000ක් සහ තෝරාගත් පෝෂිත ප්‍රාථමික පාසල් සංවර්ධනය කිරීමට තෝරාගෙන තිබෙනවා. මේ මගින් අප අපේක්ෂා කරන්නේ තරගකාරී ජනප්‍රිය පාසල් වටා ඇතිවන තදබදය අඩුකිරීමයි.

එමෙන්ම නව පාසල් වාරය ආරම්භයත් සමඟම තාක්ෂණ විෂය ධාරාවට අලුතින් දරුවන් 14,000ක් පමණ සම්බන්ධ වෙනවා. ඒ දරුවන්ගේ විශ්වාසය රැකෙන ආකාරයට අවශ්‍ය මානව සම්පත් සහ ගුරුවරු ලබාදීමට අපේ සහෝදර අමාත්‍යාංශයක් වන යෞවන කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය අප සමඟ එක්ව කටයුතු කරනවා.

විශේෂයෙන් පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේදී බොහෝ මවුපියන් ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කර ගැනීමට උත්සාහ කරනවා. එහිදී ඔවුන් අධ්‍යාපන ඇමැති, අධ්‍යාපන ලේකම්ගේ උදව් ලබාගැනීමට ෙපළ‍ඹෙනවා. මේ ඉල්ලීම් හමුවේ ඔබ ක්‍රියා කරන්නේ කෙසේද?

ඕනෑම අධ්‍යාපන ඇමැතිවරයෙක් ලේකම්වරයෙක් මුල් මාස හය ඇතුළත මුහුණ දෙන තත්ත්වයක් මෙය.

ජනප්‍රිය පාසල් යන සංවාදය එන්නේ සම්පත් ඌණතාවය නිසයි. සම්පත් බහුල ජනප්‍රිය යැයි තෝරාගත් පාසල් පනස් ගණනක් සඳහා තමන්ගේ දරුවා ද ඇතුළත් කරගැනීමට මව්පියන් උත්සාහ ගන්නවා. මේ ඒකරාශී වීම නිසා විශාල තදබදයක් ඇතිවෙනවා.

මේ ගැටලුවට පිළියම් යෙදීම සඳහා අප කළ යුතුව තිබෙන්නේ කඩිනමින් ජනප්‍රිය පාසල් පද්ධතිය පුළුල් කිරිමයි. ඒ සඳහා ජනප්‍රිය පාසල් පනස් ගණන දහසක් දක්වා පුළුල් කිරීමයි අපේ අරමුණ. සඳුදාට, බදාදාට මව්පියන් අධ්‍යාපන අමාත්‍යාංශය වට කරන තත්ත්වය මේ මගින් අවම කරගැනීමට පුළුවන්.

මව්පියන් සැමවිටම උත්සාහ ගන්නේ තම දරුවන්ට හොඳම දේ දීමටයි. ඒ වෙනුවෙන් ගන්නා උත්සාහයේදී අප කිසිසේත් ඔවුන්ව කරදරකාරයන් ලෙස දකින්නේ නැහැ. ඔවුන්ගේ අවශ්‍යතාවයට සවන්දීමටත් විශ්වාසය දිනාගැනීමටත් අප නිරතුරුව කටයුතු කරනවා. අප විශ්වාස කරනවා නව වැඩපිළිවෙළ යටතේ 2015න් පසුව මේ තත්ත්වයට පිළියම් ලැබේවි කියා.

පාසල්වලට ළමයින් ඇතුළත් කර ගැනීමේදී විවිධ අල්ලස් හා දූෂණ චෝදනා විදුහල්පතිවරුන්ට මෙන්ම අධ්‍යාපන බලධාරීන්ටත් එල්ල වෙනවා. පසුගියදා කොළඹට ආසන්න විදුහලක විදුහල්පතිවරයෙක් ලිංගික අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූවා. මෙවැනි චෝදනා එල්ලවීම අධ්‍යාපන ක්ෂේත්‍රයට නිග්‍රහයක් නේද?

ගුරු වෘත්තිය, විදුහල්පති වෘත්තිය සමාජය ඉතා ගරුකරන වෘත්තීන්. ඒ වෘත්තීන්හි ගෞරවය ආරක්ෂා කිරීම ඒ අයගේ ලොකු වගකීමක්. පසුගිය වසර පහ ඇතුළත මෙවැනි සිදුවීම් දෙකක් පමණයි වාර්තාවී තිබෙන්නේ. නමුත් සමස්තයක් ලෙස ගත් කල ඉතාම ගෞරවනීය ආකාරයට, කැපවීමෙන් කටයුතු කරන විශාල පිරිසක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.

මෙවැනි කිහිප දෙනෙක් විසින් සිදු කරන ක්‍රියාවන් නිසා හානියක් වුවත් ඒ සෑම අවස්ථාවකදීම ඒ අයට විරුද්ධව කටයුතු කරනවා. අල්ලස් හෝ දූෂණ කොමිසමත් සමඟ සම්බන්ධ වි ඒ කටයුතු කඩිනම් කරනවා. නොගැළපෙන මිනිසුන් මේ වෘත්තියට සම්බන්ධවුණාම සිදුවන දෙයක් තමයි මේ අවස්ථාවෙන් නිරූපණය වෙන්නේ.

ලංකාව පුරා පාසල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් වශයෙන් මහින්දෝදය පාසල් සංවර්ධනය වැඩපිළිවෙළ කොතෙක් දුරට සාර්ථකද?

අධ්‍යාපන අමැතිතුමාගේ උපදෙස් අනුව අප සැලසුම් කර තිබෙන්නේ 2013 දෙසැම්බර් 31 වැනිදා වනවිට මහින්දෝදය විද්‍යාගාර 1000ක් ඉදිකිරීමයි. ඇත්තෙන්ම මෙය අභියෝගයක්. නමුත් ඉතාම සතුටුයි කියන්න පළමු මාස 06 ඇතුළත ගොඩනැගිලි 435ක් නිමකර ඇති අතර ඉතිරි ගොඩනැගිලිවල වැඩ අවසන් මාස හයේදී නිමකිරීමට අපේක්‍ෂා කරනවා. කෙසේ හෝ දෙසැම්බර් 31 වන විට සියලු ඉදිකිරීම් සම්පූර්ණ කරනවා.

ලබන වසරේ පළමු පාසල් වාරයේදී මේ විද්‍යාගාරවලට උපකරණ සැපයීම නියමිත අතර දෙවැනි පාසල් වාරයේ සිට දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත විය හැකියි. මීට අමතරව මේ වැඩසටහන යටතේ නවීන මෘදුකාංග සහිත භාෂාගාර, ගණිතය ප්‍රවර්ධනය කිරීමට ගණිතාගාර ලබාදීම ද සිදු කරනවා. මෙය හුදෙක් ගොඩනැගිලි ගොන්නක් ඉදිකිරීමක් නොවෙයි. මේ යටිතල පහසුකම් ලබාදීම මගින් අප අපේක්‍ෂා කරන ඉලක්කවලට ළඟාවීමට හැකිවේ යැයි විශ්වාස කරනවා.

පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩපිළිවෙළ ආහාර සැපයුම්කරුවන්ට මුදල් නොලැබීම නිසා නැවතී ඇති බව මාධ්‍ය මගින් පළවී තිබුණා. මෙහි සැබෑ තත්ත්වය කුමක්ද?

අධ්‍යාපන සේවා අමාත්‍යාංශයේ විෂය පථයටයි පෝෂණ කටයුතු අදාළ වෙන්නේ. දැනට පාසල් යන දරුවන් ලක්ෂ 07ක පමණ ප්‍රමාණයක් දිවා ආහාරය සඳහා හිමිකම් ලබනවා. පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමේ අරමුණ වඩාත් අර්ථ ගන්වමින් අප දැන් සතියකට දින දෙකක් දිවා ආහාරය සමග බිත්තර ලබා දෙනවා. පහසුකම් තියෙන සෑම පාසලකටම දියර කිරි ලබාදෙනවා.

කිසියම් මුදලක් පාසල් කමිටුවට අප ලබාදුන් පසුව සමෘද්ධි ලාභීන්, මවුපියන්, ගුරුවරුන් ද සක්‍රීයව දායක වන ක්‍රමයක් අනුවයි මෙය සිදු කෙරෙන්නේ. සැපයුම්කරුවන්ට මුදල් ප්‍රවාහනයේදී යම් යම් අවස්ථාවලදී ප්‍රමාදයන් සිදුවුණත් ඒ වැඩසටහන අඛණ්ඩව සිදුකරනවා.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]