මේ මස 14 දා ජනතා අයිතියට පැවරෙන චුන්නාකම්,ග්‍රිඩ් විදුලි උප පොළ

මේ මස 14 දා ජනතා අයිතියට පැවරෙන චුන්නාකම්,ග්‍රිඩ් විදුලි උප පොළ

අරුණලු කිරණින් නැහැවෙන, හැම උදෑසනකම අලුත් පාලමක්, අලුත් පාරක්, අලුත් කඩවීදියක්, අලුත් කාර්යාලයක් උතුරු වැසියන්ගේ අයිතියට පැවරෙන බව අද කිසිවෙකුටත් නොරහසකි. මේ සිනාසෙන මුහුණුත් කතාකරන ඇසුත් අපට පුන පුනා කියන්නේ ඒ යථාර්ථයයි.

විදුලිබල හා බලශක්ති ඇමැතිනී,නීතිඥ

පවිත්‍රා දේවිවන්නිආරච්චි

වසර 22කට පෙර ලක්ෂපාන බලාගාරය හරහා යාපනය අර්ධද්වීපයට විදුලිය සම්ප්‍රේෂණය කරනු ලැබූ අතර කොටි ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් 1990 සිට එම ක්‍රියාවලිිය බිඳවැටිණි.

පසුව යාපනය අර්ධද්වීපයට විදුලිය බලය සැපයීම සඳහා මහාපරිමාණ විදුලි ජනන යන්ත්‍ර භාවිත කළ අතර එයද එතරම් ගුණාත්මක මට්ටමක නොතිබිණි. උතුරු ප්‍රදේශයේ යාපනය නගරය ඇතුළු සීමිත ප්‍රදේශයකට පමණක් විදුලිය පහසුකම් සපයා තිබූ අතර 2009 වසරේ යුද්ධයේ නිමාවත් සමඟ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මෙහෙයවීම හා මඟපෙන්වීම මත ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කළ “උතුරු වසන්තය” කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ උතුරු ප්‍රදේශයට විදුලිය ලබාදීම ආරම්භ විය.

එමඟින් යාපනය අර්ධද්වීපයේ විදුලිය අවශ්‍යතාවට තාවකාලික පිළියමක් ලැබුණද එයින් අඛණ්ඩව විදුලිය සැපයීමට නොහැකි විය. මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කළ රජය අධිසැර විදුලි රැහැන් මාර්ග පද්ධතියක් ඔස්සේ යාපනය චුන්නාකම් දක්වා රැගෙන යාම සඳහා ග්‍රිඩ් විදුලි උප පොළක් ස්ථාපනය කළේය. ඒ අනුව දශක දෙකකට පසුව ජාතික විදුලිබල පද්ධතිය තුළ උතුර දකුණ යා කරමින් චුන්නාකම් විදුලි උප පොළ ජනතා අයිතියට පත් කිරීමේ සුබ මුහුර්තිය දැන් එළඹ තිබේ.

ඒ පිළිබඳව තම හෘදයාංගම සතුට පළ කරන, විදුලිබල හා බලශක්ති ඇමතිනී, නීතිඥ පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිනිය දක්වන්නේ මෙවන් අදහසකි.

“උතුරේ වැසියන්ගේ ජීවන තත්ත්වය හැකි උපරිම මට්ටමකට ගෙන එමින් ඔවුන්ගේ හෙට දවස, වඩා සුරක්ෂිත, පැහැබර එකක් බවට පත්කරවීම, ජනපතිඳුන් ප්‍රමුඛ අප රජයේ මුඛ්‍ය පරමාර්ථයයි. චුන්නාකම් ග්‍රිඩ් විදුලි උප පොළ යනු, ඒ සඳහා රජය තැබූ තවත් එක් ප්‍රශංසනීය පියවරක් බව මා නිහතමානීව සිහිපත් කරන්නට කැමතියි.

එමඟින්, උතුරේ සුළු හා මධ්‍ය පරිමාණ, මෙන්ම මහා පරිමාණයේ කර්මාන්තකරුවන්ට ධීවරයින් ඇතුළු සමස්ත ප්‍රජාවටම. තම ජීවන මාර්ග නඟාසිටුවීම සඳහා මහා ජීවබලයක් සැපයෙනවා. ජාතික විදුලිබල පද්ධතිය හරහා දවසේ පැය 24 පුරා නොකඩවා විදුලිය ලබාදීම යනු, එක් අතකින් ඔවුන්ගේ සිහින සැබෑ කරවීමක්. අනෙක් අතින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරවීම සඳහා උතුරේ දායකත්වය වැඩි වැඩියෙන් ලබා ගැනීමට හැකිවීමත් චුන්නාකම් ග්‍රිඩ් විදුලි උප පොළ හරහා අපට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක්.”

සැප්තැම්බර් මස 14 දින සිට මෙසේ චුන්නාකම් විදුලි උප පොල හරහා ජාතික විදුලිබල පද්ධතියෙන් යාපනය අර්ධද්වීපයට විදුලිය සැපයෙනු ඇත.

මෙගාවොට් 63ක විදුලිය ධාරිතාවක් යාපනය අර්ධද්වීපයට සම්ප්‍රේෂණය කිරීමට අපේක්ෂිත අතර එමඟින් නිවාස 120,000කට පමණ ජාතික විදුලිබල පද්ධතිය හරහා විදුලිය සපයනු ලැබේ. මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ද විදුලිය ලබාදීමට මෙමඟින් හැකිවේ. ඒ අනුව චුන්කානම් ග්‍රිඩ් විදුලි උප පොළ ක්‍රියාත්මක වීමත් සමඟ යාපනය අර්ධද්වීපයේ සමස්ත විදුලිය අවශ්‍යතාව සම්පූර්ණ කෙරෙන අතර මේ සඳහා රජය වැය කළ මුදල රු. මිලියන 1800කි.

උතුරේ ජනතාවගේ හෙට දවස තව තවත් ප්‍රභාමත් කරවීම උදෙසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් ප්‍රමුඛ රජය ගෙන යන මේ වැඩපිළිවෙළ තව තවත් ශක්තිමත් කරවීම අප සියලුදෙනාගේ යුතුකම හා වගකීමය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා