ගමට ගැම්මක් ගෙනෙන ඊ ගම්මාන

ගමට ගැම්මක් ගෙනෙන ඊ ගම්මාන

දැනුම කේන්ද්‍ර කොටගත් 21 වන සියවසේ සමාජය සඳහා මානව සම්පත සංවර්ධනය කිරීමේ “මහින්ද චින්තන” ජාතික වැඩසටහන යටතේ තොරතුරු තාක්ෂණය ග්‍රාමීය ප්‍රජාව වෙත සමීප කරවීමේ ප්‍රයත්නය තව දුරටත් ශක්තිමත් වෙයි. පාසල් ප්‍රජාව සම්බන්ධ කරමින් දැනටමත් ස්්ථාපිත කොට ඇති දිවයිනේ පාසල් පරිගණක ඉගෙනුම් මධ්‍යස්ථාන අතරින් තෝරාගත් පාසල්වල “ඊ-ගම්මාන” ස්ථාපිත කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතීයික අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය පියවර ගෙන තිබේ.

මේ යටතේ වැඩසටහන් රැසක් දියත්කර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුමැති සමාජයක් සඳහා අධ්‍යාපනය යටතේ ක්‍රියාත්මක වන ඊ – ගම්මාන වැඩසටහන ප්‍රමුඛත්වයක් ගනී. මෙහිලා දැනට සාර්ථකව ක්‍රියාත්මක වන පාසල් පරිගණක මධ්‍යස්ථාන ඔස්සේ පාසල් කාලයෙන් පසුව සවස් කාලයේ හා සති අන්තයේ පාසල් හැරගිය තරුණ පිරිස් වෙත පරිගණක දැනුම ලබාදීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව කෘෂිකාර්මික, ස්වයං රැකියා, රාජ්‍ය සේවා හා වැඩිහිටි අධ්‍යාපනික සේවා සඳහා මෙන්ම අන්තර්ජාලය ඔස්සේ විශ්ව දැනුම වර්ධනය කර ගැනීමේ අවස්ථා මෙම ඊ – ගම්මාන ආශ්‍රිත ප්‍රජාව වෙත අඛණ්ඩව හා විධිමත්ව ලබාදීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන් මෙයින් බලාපොරොත්තු වන්නේ තොරතුරු තාක්ෂණය ඔස්සේ අඩු පහසුකම් ඇති දුෂ්කර ප්‍රදේශවල තොරතුරු සාක්ෂරතාව වර්ධනය කර ජනතාව ගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා රැකියා අවස්ථා සුලභ කිරීමයි.

එමෙන්ම අන්තර් ජාලය හරහා කිසියම් නිශ්චිත ව්‍යාපාරයකට බාහිරව සිටිමින් ව්‍යාපාරය ආශ්‍රිත ගිණුම් හා අලෙවිකරණ ක්‍රියාවලීන්වල නියැළිමේ රැකියා අවස්ථා සඳහා උගත් ග්‍රාමීය තරුණ කොටස් යොමු කිරිම සඳහා වෙබ් අඩවි නිර්මාණය කිරීමටත්, සේවා සමාගම් ස්ථාපනය කිරීමටත්, එක් ඊ – ගම්මානයක් ආශ්‍රිතව රැකියා අවස්ථා නිර්මාණය කිරිමටත් අපේක්‍ෂිතය. මෙම වැඩසටහන “නැණසල” ව්‍යාපෘතිය සමඟ පුළුල් කර ඇති අතර, දැනට දිවයින පුරා පිහිටි පාසල් පරිගණක ඉගෙනුම් මධ්‍යස්්ථාන 1500 කි.

විද්‍යා, ගණිත, ඉංග්‍රීසි හා සමාජ අධ්‍යයනය ඇතුළු විෂයයන් රාශියක් සඳහා මෘදුකාංග සහිත සංයුක්ත තැටි මේ යටතේ සෑම පාසලකම පරිහරණය සඳහා මෙම ව්‍යාපෘතියට මුදාහැර ඇත.

මේ අනුව අධ්‍යාපන මෘදුකාංග නිර්මාණ ක්‍රියාවලිය හරහා ගුරු භවතුන් අන්තර් ජාතික තරග වලට යොමු කිරීමේ වාර්ෂික වැඩසටහනක් ද දැනටමත් ක්‍රියාත්මක වේ. ඊ – ගම්මාන වැඩසටහන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන වැඩපිළිවෙළ අනුව මේ වනවිට දිවයින පුරා අංග සම්පූර්ණ පාසල් පරිගණක විද්‍යාගාර රැසක් ආරම්භ කොට තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ව්‍යාප්ත කර ඇත. මෙම ඊ – ගම්මාන ව්‍යාපෘතිය යටතේ දිවයිනේ මුල්ම ඊ – ගම්මානය පිහිටුවා ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය යි.

මධ්‍යම පළාත් සභාවේ ප්‍රථම ඊ – ගම්මානය මාතලේ දිස්ත්‍රික්කයේ මහලකොටුව ශ්‍රී සුමණ මහා විද්‍යාලයේ පිහිටුවා ඇත. අධ්‍යාපනික නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම විදුහලට අති නවීකරණ විද්‍යාගාරයක් ලැබීමත් සමඟම පළාතේ තොරතුරු තාක්ෂණයේ සුවිශේෂි අනන්‍යතාවයක් ගොඩ නඟා ගැනීමට මෙම විදුහල සමත් විය.

මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ දැඩි උත්සාහයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව මධ්‍යම පළාත් ඊ-ගම්මාන වැඩසටහන සුවිශේෂි මාවතකට එළඹ ඇත. තවත් ඊ – ගම්මාන 9 ක් පළාත තුළ ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම පාසල් පරිගණක ඒකකය ගම්මානයේ තොරතුරු තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානය බවට මේ යටතේ පත් කෙරෙන අතර, ගමේ ක්‍රීඩාව සහ නිර්මාණාත්මකව කුසලතාවන් මඟින් විනෝදාස්වාදය ලබා ගැනීම හා සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට මෙන්ම අර්ථාන්විත ලෙස දිරිමත් කිරීමට තොරතුරු තාක්ෂණය යොදා ගැනීමට මේ යටතේ පියවර ගැනේ. මෙම තේමාවන්ට අමතරව තම ගම්මානයේ සම්ප්‍රදායික ලක්ෂණ හා වටපිටාව පදනම් කරගෙන ඊට අදාළ වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීම මෙම වැඩසටහනේ තවත් ප්‍රවණතාවකි.

21 වැනි සියවසේ ප්‍රාග්ධනය ලෙස සලකනු ලබන්නේ දැනුමයි. එබැවින් රටක් සංවර්ධනයේ දී ජනතාවගේ දැනුම වර්ධනය වීම අත්‍යාවශ්‍යම කාරණාවක් වී තිබේ. දැනුම වර්ධනය කිරීම සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළ අනුව මධ්‍යම පළාත් ඊ-ගම්මාන සංකල්පය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ගමකට, ප්‍රදේ්ශයකට හෝ පළාතකට පමණක් සීමා නොවී මුළු රට පුරාම ව්‍යාප්ත වන “ඊ-ගම්මාන සංකල්පය” ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා පිය නගන මාවතේ පෙර ගමන්කරු වී ඇත.

(මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තොරතුරු ඇසුරිනි.)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා