මුද්‍රණය සඳහා

 
මම සිනමාව ගැන කලකිරිලා නැහැ

මම සිනමාව ගැන කලකිරිලා නැහැ

ජයසේකර අපොන්සු

දක්ෂ රංගන ශිල්පියකුට ඕනෑම චරිතයක් රඟපෑ හැකි බව ඔහු ප්‍රායෝගිකව පෙන්වා දී ඇත. විටෙක හැඩිදැඩි දාමරිකයකු වන ඔහු, තවත් විටෙක සුකොමල කාන්තා චරිතයකට පණපොවයි. එදා තටු, ඉරි වැනි ප්‍රහසනාත්මක නාට්‍ය ද්විත්වයේ නිර්මාණකරුවා වූ ඔහු පාතාලේ සොල්දාදුවා නාට්‍ය හරහා සිය විශිෂ්ට කලා කෞශල්‍යය ද විදහාපෑවේය. විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට එන ජයසේකර අපොන්සු, වේදිකාවෙන්, පුංචි තිරයත්, වර්තමානයේ රිදී තිරයටත් පිවිස ඇත. සිය කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන “සීතා මං ආවා” සමඟින් හෙට (13) සිට ඔබ හමුවට එන ජයසේකර අපොන්සු අද රසමංජරී කතාබහට එක්විය.

“සීතා මං ආවා” ඔබේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. කතා කරමු ඒ ගැන?

මේ චිත්‍රපටය හාස්‍ය හා කුතුහලය රැගත් චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වන්නේ රාවණා කියන ඓතිහාසික රජ චරිතය. ඒ වටා රාමා, සීතා හනුමන්තා යන චරිත තිබෙනවා. අලුතින් එකතු වනවා පාසිං බායි හා ගයිඩා යන චරිත.

මෙය රාවණා රජු තේමා කරගත් නමුත් හාස්‍ය කැටිකොට ගත් චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාවට ආරම්භයේ සිට අවසානය දක්වාම සිනහා වෙන්න පුළුවන්. හෙට (13) සිට එල්. එන්. ඩී. හා එම්. පී. අයි සිනමා මණ්ඩලයේ සිනමා ශාලාවල මෙය ප්‍රදර්ශනය වනවා.

රාවණා රජු යන චරිතය ඓතිහාසික වටිනාකමක් ඇති චරිතයක්. විශේෂයෙන්ම රාමා, සීතා, හනුමන්තා යනු හින්දු ආගමිකයන් අදහන දේව චරිත. මෙවැනි චරිත හාස්‍යයට ලක්කිරීම සුදුසුද?

මෙතැනදි රාමා, සීතා හෝ රාවණා චරිත කිසිසේත් අපහාසයට, උපහාසයට ලක්වන්නේ නැහැ. අපි අසා ඇති පරිදි රාමා යනු සීතාට හදවතින් ආදරය කළ හා සීතා යනු පති භක්තිය ඉහළින්ම රැකි කාන්තාවක්. රාවණා කියන්නේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. මේ ඉතිහාසගත කතා පුවතින් අපේ සමාජයට ගත හැකි දේවල් තිබෙනවා. ඒ ටිකයි මම මේ චිත්‍රපටයට අරගෙන තිබෙන්නේ. දැන් බලන්න රාම වැනි චරිත, සීතා වැනි චරිත, රාවණා වැනි චරිත මේ සමාජයේ තවමත් ජීවත් වෙනවා.

එවැනි චරිත හරහා යම් පණිවිඩයක්, ආදර්ශයක් වත්මන් සමාජයට දිය හැකියි. ඒ අතරම ඒ තුළට හාස්‍ය එකතු කර ප්‍රේක්ෂකයාට වින්දනයක් ලබාදීමත් එක්තරා අභියෝගයක්. නමුත් කිසිම විටෙක මුල් ඓතිහාසික කතාවට හෝ එහි චරිතවලට කිසිදු හානියක් මේ චිත්‍රපටය හරහා සිදුවන්නේ නැහැ.

වර්තමානයේ බොහෝ චිත්‍රපට නිර්මාණය වන්නේ ඓතිහාසික කතාවලට පණපොවමින්. ඔබේ උත්සාහයත් එවැනි කතාවක් හරහා ඉස්මතු වීමටද?

වත්මන් සිනමා ක්ෂේත්‍රය දෙස බැලූ විට ඔබ එසේ සිතීම නිවැරැදියි. නමුත් මම කිසිම අධ්‍යක්ෂවරයෙකු හෝ සිනමාපටයක් කොපි කරලා චිත්‍රපට හදන්න උත්සහ කරන්නේ නැහැ. එහෙම කරනවා නම් මම මෙයට කලින් චිත්‍රපට හදනවා. මම මෙතෙක් ගෙනආ ශෛලියක් තිබෙනවා.

එහි හාස්‍ය ප්‍රධානයි. ඒ නිසා මම ගමන් කරන්නේ ඒ මාවතේ. මගේ සියලු නිර්මාණ තුළට හාස්‍ය එකතු කරගෙන තිබෙනවා. ඓතිහාසික කතාවක් හෝ වේවා, වෙන කතාවක් හෝ වේවා මෙය චිත්‍රපටයට සුදුසුයි කියා සිතුනොත් මම එය නිර්මාණය කරනවා. මෙතුවක්කල් මම කරපු කිසිම නිර්මාණයක් අනිත් අය කොපි කරලා හදපුවා නෙමෙයි. ජයසේකර අපොන්සු කියනා නිර්මාණකරුවාගේ අනන්‍යතාව මෙහි තිබෙනවා.

වසර ගණනාවක් කලා ක්ෂේත්‍රයේ රැඳී සිටි ඔබගේ පළමු චිත්‍රපටය මෙතරම් පමා වුණේ ඇයි?

චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම අද හිතලා හෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එයට කාලයක් අවශ්‍යයයි. කලාව සමඟ ගනුදෙනු කිරීමෙන් ලබා ගන්නා දැනුම හා පන්නරය, අත්දැකීම් මේ සඳහා වැදගත්වනවා. විශේෂයෙන්ම හොඳ නිෂ්පාදකයෙක් අවශ්‍යයයි. මගේ භාග්‍යයට මට චමින්ද රණසිංහ මහතාව හමුවුණා. ඔහු තමයි සීතා මං ආවා චිත්‍රපටයේ නිෂ්පාදකයා. මෙය මගේ පළමු චිත්‍රපටය ලෙස හැඳින්වූවත් මම මෙයට වසර 22කට පෙර රෑ රූ නමින් සිනමා නිර්මාණයක් කළා.

නමුත් පසුගිය භීෂණ අවධිය නිසා එය තිරගත වීමේ ගැටලු ඇතිවුණා. ගෙවල් ඉඩම් උකස් තියලා ණය බේරුවා. ඒත් මම සිනමාව කෙරෙහි කලකිරුනෙ නැහැ. ඒ අවස්ථාවේ නිෂ්පාදකවරයා මට මුණගැසුණෙ. ඔහු රෑ රූ චිත්‍රපටය නරඹලා මට කිව්වා “දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් මෙහෙම නිහඬව ඉන්න එක අපරාධයක්. අයියා චිත්‍රපටයක් කරන්න මම එය නිෂ්පාදනය කරන්නම් කියලා. ඔහුගේ වචන මාව දිරිමත් කළා. ඒ නිසා මම මේ චිත්‍රපටය හදන්න සුදුසුම වේලාව මෙය බව සිතුවා.

මේ චිත්‍රපටයට රාමායණයෙන් කරුණු එකතු කර ගත්තද?

ඇත්තටම රාමායණයට වඩා මගේ හිත ගත්තේ ශ්‍රී ලංකාව පුරා රාවණා පිළිබඳ ඇති විවිධ කතා. ඒ හරහා මම ඒ පිළිබඳ සොයන්න පටන් ගත්තා. එවිට මට රාවණා මෙරට රජ කෙනෙක් ලෙස, මියගිය පසු බෙහෙත් ඔරුවක ඔහුගේ දේහය තැන්පත් කර ඇති බවට ද ජනප්‍රවාදයේ තිබෙන බවට චනගන්න ලැබුණා.

ඒ කතාව තමයි මම ප්‍රධාන ලෙස චිත්‍රපටයට යොදා ගත්තේ. රාමායණයෙන් රාම සීතා කියන චරිත ගත්තා. වරෙක රාමායණය පොත මම මගේ අම්මාට කියවීම සඳහා ගෙනවිත් දුන්නා. අම්මා තමයි මට රාමායණයෙන් චිත්‍රපටයක් හදන්න කියලා මුලින්ම කිව්වේ. කාලයක් ගියත් ඒ වචන මගේ හිතේ තැන්පත් වෙලා තිබිලා පසුව එය චිත්‍රපටයක් බවට පත්වුණා.

ඉතිහාස කතාවක් මේ කාලයට ගැළපෙන ලෙස යොදා ගන්නේ කොහොමද?

මෙහිදී රාවණා නැවත උපදිනවා. ඒ වගේම මුළු චිත්‍රපටය පුරාවටම රාමාගේ සිතේ සීතා ගැන ඇතිවුණ සැකය පෙන්වනවා. මේ චිත්‍රපටය මායාවන්, සත්‍යයන්, යථාර්ථයන් අපූරුවට කැටිකොට ගත් චිත්‍රපටයක් බව රැඟුම් පාලක මණ්ඩලයෙන් ද අගැයීමට ලක්කළා. මම හිතනවා වර්තමානයේ පවුල් සංස්ථාවට සමාජයේ විවිධ අංශ නියෝජනය කරන පුද්ගලයන්ට තමා පිළිබඳ යම් අවබෝධයක් මේ චිත්‍රපටය නැරැඹීම හරහා ලබා ගන්න පුළුවන්. මෙහි හාස්‍යයට යටින් ලොකු ගැඹුරක් පෙනෙන චිත්‍රපටයක්.

මෙහි රංගන ශිල්පීන් පිළිබඳ කතා කළහොත්?

රාමාගේ චරිතය රාමදාස් රමාචන්ද්‍රන් ලෙස බන්ධු සමරසිංහ නිරූපණය කරනවා. මෙතෙක් බන්ධුගේ දුටු සුපුරුදු රංගනය වෙනුවට නව රංගන ශෛලියක් ගොඩනඟන්න මෙහිදී මට හැකිවුණා. සීතාගේ චරිතය චංචලා වර්ණසූරිය,රගපානවා කුමාර තිරිමාදුර, බන්දුල විජේවීර, සරත් කුලාංග, රංජිත් ද සිල්වා, ජීවන් හඳුන්නෙත්ති, ගාමිණී කොස්තා, සරත් දඹවින්න, තුසිත වීරසිංහ ඇතුළු පිරිසක් රංගනයෙන් එක්වනවා. උරේෂා රවිහාරි හා සිනමාවට ප්‍රථම වරට ගී ගයන මාරියෝ ආනන්ද හා රොඩ්නි වර්ණකුල මෙහි ගීත ගායනයෙන් එක්වනවා.

 


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]