ඇඳුම් ගලවා නිරුවත් කොට බිම පෙරළා රැග් එක දීලා

සබරගමුවේ නවක සිසු සිසුවියන්ට

ඇඳුම් ගලවා නිරුවත් කොට බිම පෙරළා රැග් එක දීලා

හිරිකටුව ගඟ ළඟදී ශාරීරික හා මානසික වධ හිංසා

* නේවාසිකාගාර වැසිකිළිවල බඩ ගාන්න කියලා

* පාලනාධිකාරියට කීවත් ඵලක් වී නැහැ

* ඇමැති මැදිහත් වී ගැටලු විසඳයි

* ජ්‍යෙෂ්ඨයන් 11කට විනය පියවර: ශිෂ්‍යාවෝ 4ක් ඒ අතර

නවක සිසු සිසුවියන් පිරිසක් හිරිකටුව ගඟ අයිනට රැගෙන විත් සියලු ඇඳුම් ගලවා නිරුවතින් බිම පෙරළවා ශාරීරික හා මානසික ලෙස නවක වදය ලබා දී ඇති බවට හඳුනා ගත් සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 7 දෙනකු හා සිසුවියන් 4 දෙනකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කෙරේ. සිංහරාජ හා ආරියතිලක නේවාසිකාගාරවලදී ද නවක සිසු සිසුවියන්ගේ ඇඳුම් ගලවා වැසිකිළි තුළ බිම පෙරළවා දරුණු ලෙස මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවකවදය ලබා දී ඇති බවට තොරතුරු හෙළි වේ.

ජ්‍යෙෂ්ඨ සිසුන් නවක සිසුන්ට අසභ්‍ය වචනවලින් අමතමින් වැසිකිළි තුළ බඩ ගාන ලෙස තර්ජනය කර ඇතැයිද තොරතුරු වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමන්ට දරුණු ලෙස නවකවදය ලබා දෙන බවට නවක සිසු සිසුවියන් විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියට තොරතුරු ලබා දි ඇතත් ඊට උපකුලපතිවරයාගෙන් හෝ පාලනාධිකාරියෙන් විසඳුමක් ලැබි නොමැත.

මේ නිසා නවක සිසුන් ඒ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන ඇමැතිවරයා වෙත සෘජුව දන්වා තිබෙන අතර මේ ජ්‍යෙෂ්ඨ සිසුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් වන සියලු දෙනා විශ්වවිද්‍යාලයෙන් නෙරපා හරින්නට කටයුතු කරන ලෙස ඇමැතිවරයා පාලනාධිකාරියට දැනුම් දී තිබේ.

එම නියෝගය අනුව මේ වන විට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නවකවදය ලබා දුන් බවට හඳුනා ගත් සිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

නවකවදය හේතුවෙන් සබරගමු විශ්වවිද්‍යාලයේ නවක සිසුන් තිදෙනෙකු මේ වන විට අධ්‍යාපන කටයුතු නවතා දමා නිවෙස් වලට ගොස් තිබෙන බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ පසුගිය සති දෙකක කාලය තුළ නවකවදය ඉතා දරුණු ලෙස ක්‍රියාත්මක වී තිබෙන අතර මේ වන විට නවක සිසුන් දැඩි මානසික අසහනයකට ලක්ව තිබෙන බවත් වාර්තා වේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ අතීතයේද දරුණු ලෙස නවකවදය ක්‍රියාත්මක වු නමුත් පසුගිය වසර කිහිපයේදී ඒ සම්බන්ධයෙන් දඩුවම් පැනවීම නිසා නවකවද සිද්ධීන් වාර්තා වීම පහළ මට්ටමක පැවතිණි. විශ්වවිද්‍යාලය මේ තත්ත්වයට ගෙන ඒම සඳහා සිසුන් 300 කට පමණ දඬුවම් ලබා දීමට සිදු වු බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය කටයුතු පිළිබද අධ්‍යක්ෂ ‍ජනරාල් කීර්ති මාවැල්ලගේ මහතා පැවසීය.

මෙම නවකවද සිද්ධියට සම්බන්ධ සියලු සිසුන්ට නවකවද පනත යටතේ අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා කිවේය.

   

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා