දෙමළ සන්ධානයේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා

දෙමළ සන්ධානයේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරනවා

අන්තර් ආගමික නායකයෝ අවධාරණය කරති

බෙදුම්වාදය රටතුළ ඇති කරමින් එල්ටීටීඊ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දෙමල ජාතික සන්ධානය ඉදිරිපත්කර තිබෙන මැතිවරණ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව අන්තර් ආගමික නායකයෝ අවධාරණය කරති.

රටේ ජාතික හා ආගමික අසමඟිය ඇතිකරමින් නිදහස් හා සාමකාමී ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබෙන බවද දිනූ නිදහස සුරක්ෂිත කිරීම සඳහා උතුරේ දෙමල ජනතාව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද උන් වහන්සේලා දෙමල ජාතික සන්ධානය ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලන්නේ රට බෙදා වෙන් කිරීමට වුවද රජය ජාත්‍යන්තරයෙන් සහාය ඉල්ලන්නේ සංවර්ධනය අතින් ඉහළම තැනකට රට ගෙනයාම බවද ප්‍රකාශ කරති.

අන්තර් ආගමික නායකයෝ මේ බව සදහන් කළේ කොළඹ දී ඊයේ (11) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් පළකරමින් ධර්ම රශ්මි පදනමේ සභාපති ගලගම ධම්මරංසි හිමියෝ ප්‍රකාශ කළේ උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වී සිටින දෙමල ජාතික සන්ධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් ජාතීන් අතර සහ ආගමිකයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය සුරැකෙන පදිරි එවැනි ප්‍රකාශයක් ඉදිරිපත් කළයුතු බවත්ය.

දෙමල ජාතික සන්ධානය ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය මේ රටේ ජාතික, ආගමික අසමඟිය ඇතිකිරීමටත් ජාතීන් බෙදා වෙන් කිරීමටත් කළ එකක් බව පෙන්වාදුන් උන් වහන්සේ දශක තුනක කාලයක් විඳිදුක මේ රටේ ජනතාව හොඳින් දන්නා බවද එවැනි කිසිඳු හැඟීමක් නොමැතිව ඔවුන් මේ මැතිවරණ ප්‍රකාශය ඉදිරිපත්කර තිබෙන බවද සදහන් කළහ.‍

‍එල්ටීටීඊ සංවිධානයට අවශ්‍ය න්‍යාය පත්‍රයක් මේ තුළින් ඉදිරිපත්කර තිබෙන අතර රට බෙදා, ජාතීන් වෙන්කරන ව්‍යායාමයෙන් ඉවත්විය යුතු බවද ජාති, ආගම් ආදී භේදයකින් තොරව සියලු දෙනාම එක්ව කටයුතු කරන්නේ නම් ඔවුන්ට ද සහයෝගය ලබාදෙන බව ද පැවසූ ධම්මරංසි හි‍මියෝ දෙමල ජාතික සන්ධානය බලයට පැමිණෙන්නේ නම් යළිත් වරක් අපේ රට දෙකඩ වීමේ උවදුරකට ලක්වන බව ද පෙන්වා දුන්හ.

ජාතික හා ආගමික සමඟිය සඳහා වන ළමා පදනමේ සභාපති සරත් හෙට්ටිආරච්චි පියතුමා මෙහි දී සදහන් කළේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව නියම ලෙස ක්‍රියාවට නැංවීමක් ලෙස උතුරු පළාත් සභා මැතිවරණය හඳුන්වාදිය හැකි බවත් එහි දී යළිත් වරක් ප්‍රභාකරන් වීරයෙක් ලෙස කරළියට ගෙන ඒමට දෙමල ජාතික සන්ධානය උත්සාහ ගන්නා බවත්ය.

මෙවැනි පිරිසක් බලයට පැමිණෙන්නේ නම් ශ්‍රී ලංකාවේ ඉරණම කුමක්දැයි ප්‍රශ්න කළ සරත් හෙට්ටිආරච්චි පියතුමා බෙදුම්වාදය ශක්තිමත් කොට අරාජික රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා උත්සාහ කරන පිරිසට ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇතැයි විශ්වාසය පළ කළේය.

මෙහි දී අදහස් පළකරමින් ජාත්‍යන්තර හින්දු ආගමික සම්මේලනයේ ලේකම් රාමචන්ද්‍ර බාබුෂර්මා කුරුක්කල්තුමා සදහන් කළේ වත්මන් රජය චීනයෙන් මුදල් ගෙන මාර්ග ඉදිකරන බවට සහ ජපානයෙන් මුදල් ගෙන රෝහල් ඉදිකරන බවට දෙමල ජාතික සන්ධානය චෝදනා කරන බවත් අපේ රට බෙදා වෙන්කළ යුතු බවට ඔවුන් ඉන්දියාව, අමෙරිකාව සහ නවදීදන් පිල්ලේට ප්‍රකාශ කරන බවත්ය.

ශ්‍රී ලංකාවට මුදල් එවන්න එපා යනුවෙන් විරෝධය පළ කරන ඔවුන් දෙමල ඊළම වෙනුවෙන් ඡන්දය ඉල්ලන බව ද පැවසුවේය.

දෙමල ජනතාව රවටා ඡන්දය ලබාගැනීම දෙමල ජාතික සන්ධානයේ ප්‍රතිපත්තිය වී තිබෙන අතර නමුත් එය ඉටු නොවන බවද මෙම ඡන්දයෙන් දිනුවද පැරදුනද එය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රශ්නයක් ඇති නොවන බවද ප්‍රකාශ කළ කුරුක්කල්තුමා හුදෙක්ම ඔවුන්ගේ ඡන්ද ප්‍රකාශය දෙමල ජනතාව පිළිනොගන්නා බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මොහමදියා සංගමයේ සභාපති හසන් මෞලවි පූජකවරයා මෙහිදී සදහන් කළේ ත්‍රස්තවාදයට යළි පණ දෙන්නට දෙමල ජාතික සන්ධානය උත්සාහ කරන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දුන් අය සේම ඒ මහතාට විරුද්ධව ඡන්දය දුන් අයද අද සාමයේ ප්‍රතිඵල භුක්ති විඳින බවත්ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා