‘රන්දිව’ට වාරණයක්

‘රන්දිව’ට වාරණයක්

කැල්සියම් නයිට්ට්‍රේට් භාවිතයෙන් කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන කරන මීරිගම අපනයන සැකසුම් කලාපයේ පිහිටි නෝර්වේ සමාගමක් සම්බන්ධයෙන් අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වමින් . ‘රන්දිව’ පුවත්පතට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ(11)නිකුත් කළේය.

මීරිගම ජී‍‍‍ෆි ප්‍රොඩක්ට්ස් එස් එල් සමාගම පැවරූ නඩුවක් සළකා බැලු කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරචිචි මහතා මේ වාරණය ලබන 25 දින දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කළේය.

කැල්සියම් නයිට්රේට් කර්මාත්තශාලා අවට පරිසරයට එක්වීමෙන් පරිසර සමතුලිතතාවට, මිනිසුන්ට, ගංගා ජලයට, මත්ස්‍යයන්ට හා පසට විශාල හානියක් සිදුවී ඇති බවට හුවා දක්වමින් පුවත්පත් ලිපි දෙකක් ප්‍රසිද්ධ කරමින් කර්මාන්ත ශාලාවට අපහාසයක් අපකීර්තියක් සිදුකර ඇති බවත්, සිදු වී ඇති එම අගතියට රුපියල් මිලියන පන්සීයක වන්දියක් පුවත්පත් සමාගමෙන් අයකැර දෙන ලෙසත් ඉල්ලා මේ නඩුව පැවරීය.

‘නෝර්වේ ව්‍යාපෘතියෙන් පොල් ත්‍රිකෝණය විනාශවෙයි’ මැයෙන් පසුගිය අගෝස්තු 25 දින පළවු ලිපියට හා පසුගිය 1 දින පළවු ‘නෝර්වේ කම්හල ආයෝජන මණ්ඩලයේ කනෙන් රිංගයි’ මැයෙන් පළවූ ලිපියට විරුද්ධව මේ නඩුව ගොනු කළේය.

ජීෆී සමාගම 2003 වසරේ ආරම්භ කළ බවත් එතැන් සි‍ට අදාළ අමාත්‍යාංශවල අනුමැතිය පරිදි පාරිසරික බලපත්‍ර සහිතව සමාගමේ පොල් ලෙලි කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන කරන බවත් ඒ සඳහා බහුල වශයෙන් කැල්සියම් නයිට්රේට් භාවිත කරන බවත් ජනාධිපති නීතීඥ රෝමේෂ් ද සිල්වා මහතා අධිකරණයට පැවසීය.

නිෂ්පාදන ක්‍රියාවලියෙන් පසු අප ද්‍රව්‍ය තනුක කිරීමෙන් පසුව පරිසරයට මුදා හරින බව ද නීතීඥවරයා පැවැසීය.

කරුණු සළකා බැලු ප්‍රධාන දිසා විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කරමිනු ලබන 25 දින කරුණු දක්වන ලෙසට නියෝග කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා