ජපානයේ විදේශ කටයුතු නි. ඇමැති අද ශ්‍රී ලංකාවට

ජපානයේ විදේශ කටයුතු නි. ඇමැති අද ශ්‍රී ලංකාවට

නිල සංචාරයක් සඳහා ජපානයේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති මිනොරු කිවුචි (Minoru Kiuchi) මහතා අද (12) ශ්‍රී ලංකාවට පැමිණෙයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින ද්වීපාර්ශ්වික වෙළෙඳාම වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඒ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ජපානයේ ව්‍යාපාරික සංසඳය එක්ව සංවිධානය කරන විශේෂ සැසියකටද සහභාගිවන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.

මෙය ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාර්තු මාසයේ දී ජපානයේ සිදු කළ නිල සංචාරයේ සහ එරට නියෝජ්‍ය අගමැති ටාරෝ අසෝ මහතා මේ වසරේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ කළ සංචාරයන්හි ප්‍රතිඵලයක් වශයෙන් ජපාන නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා මෙරටට පැමිණෙන බවද එම තානාපති කාර්යාලය පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුළ ඒ මහතා විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත අතර ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝ කාලීන සබඳතා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා