එජාපයට පළාත් සභාවල බලය ලබා ගන්න බෑ

එජාපයට පළාත් සභාවල බලය ලබා ගන්න බෑ

- ඇමැති රවුෆ් හකීම්

පළාත් සභාවල බලය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි බවත්, එම පක්ෂයට ඡන්දය ලබාදීම ප්‍රයෝජනයක් නොමැති ක්‍රියාවක් බවත් අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතා මේ අදහස් පළ කළේ වයඹ පළාත් සභාව සඳහා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේදී පසුගියදා පැවැති ජනහමුවකට එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැති රවුෆ් හකීම් මහතා මෙසේ ද පැවසීය.

අද එක්සත් ජාතික පක්ෂය විශාල වශයෙන් දුර්වල වෙලා. බහුතර සිංහල ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට අපොහොසත් වෙලා තිබෙනවා. එනිසා ඔවුන් මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට උත්සාහ කරනවා. එක්සත් ජාතික පක්ෂය කළ යුත්තේ ඡන්ද පදනම වැඩි කර ගැනීමට නම් සිංහල ජනතාව දිනා ගැනීමට කටයුතු කිරීම මිස මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට කටයුතු කිරීම නොවෙයි. නියත වශයෙන්ම වයඹ හා මධ්‍යම පළාත් සභාවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබා ගන්නවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදීමෙන් වැඩක් නැහැ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකයා වශයෙන් මා එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමට දෙවරක්ම සහාය ලබා දුන්නා. නමුත් ඔවුන්ට ලබාගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගන්න බැරි වුණා. අද වන විට එක්සත් ජාතික පක්ෂයට සිංහල ජනතාව අතරට යාමට අපොහොසත්ව තිබෙන බව ඉතා පැහැදිලි කරුණක්. එනිසා ඔවුන් මුස්ලිම් ජනතාව අතරට ගිහිං ඒ අයගේ ඡන්දය ලබා ගැනීමට උත්සාහ කරන බවත් බලය ලබා ගැනීමට නොහැකි පක්ෂයකට ඡන්දය ලබාදීමෙන් වැඩක් නොමැති බව ජනතාව අවබෝධ කරගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එස් . එම්. අස්ලම්, නැඟෙනහිර පළාත් සභා මන්ත්‍රී ඒ. එල්. තවම්, මුස්ලිම් කොංග්‍රස් උත්තරීතර මණ්ඩල සාමාජිකයන් වන යෙහියා ඛාන්, මවුලවි හනිෆා, වයඹ පළාත් සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් හිටපු මන්ත්‍රීවරුන් වන රිස්වි ජවහර්ෂා එම්. තස්ලින් සහ අනෙකුත් අපේක්‍ෂක මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා