මුද්‍රණය සඳහා

 
විදේශ රැකියා ඉලක්කය ජය ගැනීමට‍ හොඳ අවස්ථාවක්

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව

විදේශ රැකියා ඉලක්කය ජය ගැනීමට‍ හොඳ අවස්ථාවක්

විදේශ රැකියා ඒජන්සියේ සභාපති සේනක අබේගුණසේකර

ශ්‍රී ලංකා විදේශ රැකියා ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්කය ජය ගැනීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවට තීරණාත්මක සාධකයක් බව ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති සේනක අබේගුණසේකර මහතා පවසයි.

ඒ අනුව එළඹෙන 2016 වනවිට විදේශ රැකියා ක්ෂේත්‍රයෙන් වාර්ෂිකව උපයා ගැනීමට අපේක්ෂිත ඇමෙරිකානු ඩොලර් මිලියන 10,000 ඉලක්කය කරා ගමන් කිරීමේ හැකියාව තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නොයවන රටවලට ද අපේ ශ්‍රමිකයන් යැවීම සඳහා හොඳ අවස්ථාවක් බව සඳහන් කරයි.

එළඹෙන නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණඩලීය සමුළුව සෑම අංශයකින්ම ශ්‍රී ලංකාවට වැදගත් බව පෙන්වාදෙන සේනක අබේගුණසේකර මහතා එම මණ්ඩලයට දිගු ඉතිහාසයක් තිබෙන බව ද ලොව ධනවත් රටවල් රැසක් එහි සාමාජිකත්වය දරන බවද සිහිපත් කරයි.

මේ අතර ඒ මහතා පෙන්වා දෙන්නේ යටත් විජිත යුගයේ සිටි ‍රටවලින් සැඳුම්ලත් පොදුරාජ්‍ය මණ්ඩලය තුළ සිංගප්පූරුව, මැලේසියාව, බෲනෙයි රාජ්‍ය යන රටවල්ද නියෝජනය කරන අතර එවැනි රටවලට වැඩි වැඩියෙන් ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයන් යැවීමට අවස්ථාව සලසා ගතහැකි බවත් එය අපේ රටට හිතකර තත්ත්වයක් බවත්ය.

මේ වනවිට සීෂෙල්ස් රාජ්‍යයට අපේ රටේ ගුරුවරුන් යොමුකරන බව පෙන්වා දුන් සභාපතිවරයා රුපියල් 150,000 ට වැඩි මාසික වැටුපක් ඔවුන් ලබන බවද එවැනි ඉහළ වැටුප් සහිත රැකියාවන් සඳහා ශ්‍රී ලාංකිකයන් යැවීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව හොඳම අවස්ථාවක් බවද කියා සිටී.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත එකතුවක් තම ඒජන්සිය තුළ පවතින බව පෙන්වා දෙන ඒ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සමගාමීව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කරන බවද එහිදී අදාළ දත්ත එකතුව ඉදිරිපත් කළ හැකි බවද සඳහන් කරයි.

මේ අතර සේනක අබේගුණසේකර මහතා පෙන්වාදෙන්නේ විදේශ රැකියාවන්හි නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් උපයන විදේශ විනිමය ප්‍රමාණය මේ රටට ඉන්ධන ආනායනය කිරීම සඳහා වැයවන මුදලට සමාන බවත් ඒ අනුව ඉන්ධන ආනයනය වෙනුවෙන් ණය වියයුතු නැති බවත්ය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]