මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය පහළ මට්ටමක පැවතීම අඩුපාඩුවක්

මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය පහළ මට්ටමක පැවතීම අඩුපාඩුවක්

- ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

පසුගියදා දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංසදයේ විශේෂ රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වූ කරුණු අතර, වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා සහභාගිත්වයේ පවතින අඩු බව එක් මාතෘකාවක් වූයේ යැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

දේශපාලන ක්ෂේත්‍රය කුළ පාර්ලිමේන්තුව හා පළාත් පාලන ආයතන තුළ වඩාත් වැඩි කාන්තා නියෝජනයක් තිබිය යුතුය කියන කාරණය අද ලෝකයේ හැම රටකම පාහේ පවතින ප්‍රවණතාවයක් යැයිද ඇමැතිවරයා කීය.

මෙවර මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරග කරන එකම කාන්තාව වන සඳමාලි මංගලගම මහත්මියට ආධාර පිණිස හාරිස්පත්තුවේ ඇල්ලේකඩේදී පැවැති ජනහමුවකදී ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කළේය.

අද අපටත් වඩා විශාල වශයෙන් සාක්ෂරතාවයෙන් අඩු බංග්ලාදේශය, ඉන්දියාව වැනි රටවල්වල විශාල කාන්තා නියෝජනයක් දේශපාලන ක්ෂේත්‍රයේ තිබෙන බවත්, නමුත් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජනයේ අඩු බවක් දක්නට ලැබීම එක්තරා අඩුපාඩුවක් බවත් ඒ මහතා සඳහන් කළේය.

ඇමැතිවරයා මෙසේද පැවැසීය. අද ලෝකයේ බොහෝ රටවල වගේම ශ්‍රී ලංකාවේද කාන්තාවෝ කාන්තාවන්ටත් ඡන්දය දීලා, පිරිමින්ටත් ඡන්දය දීලා, කාන්තාවන් වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම මේ තීරණ ගන්නා මණ්ඩලවලටත් යනවා. ඒ නිසා විශේෂයෙන් ලෝකයේ ළමා අයිතිවාසිකම්, කාන්තා අයිතිවාසිකම් යන මේවා ගැන අද බොහෝ සෙයින් සාකච්ඡා වන කාලයක්.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් රකින්ට ඕනෑ. කාන්තා හිංසනය වළක්වන්නට ඕනෑ. කාන්තාවන් සවිබල ගන්වන්නට ඕනෑ කියන සංකල්ප දේශපාලන ක්ෂේත්‍රයේ රටේ හැමතැනම සාකච්ඡාවට භාජනය වන අවධියක්. ඒ නිසා අද දේශපාලනයේ කාන්තා නියෝජනය ඉතා වැදගත් වෙනවා.

කාන්තාවන් පිටිපස්සට දාලා දේශපාලනය කරන්ට බැහැ. ජනාධිපතිතුමා අද එඩිතර ලීලාවෙන් වැජඹෙන්නේ. රටේ නායකත්වයේ ඉන්නේ මේ රටේ කාන්තාවන් විශේෂයෙන්ම එතුමා කෙරෙහි දක්වන ආදරය හා බැඳීම නිසා. විශේෂයෙන් අද ත්‍රස්තවාදය දුරුකරලා, මේ රටේ කාන්තාවන් කඳුළු පිරි දෙනෙතින් යුතුව කල් ගෙවූ කාලය අවසන් කරලා සිනාමුසු මුහුණින් ජීවිතයට මුහුණ දෙන්ට අවශ්‍ය පසුබිම සලසා දුන්නා.

එදා අපේ රටේ කාන්තාවන් ජීවිතයේ මුහුණ පෑ බිහිසුණුම අවදිය ජනාධිපතිතුමා තුරන් කර දැම්මා. අද කාන්තාවන්ට පමණක් නොව රටේ සියලු පුරවැසියන්ට නිදහසේ රටේ ඕනෑම තැනක සැරිසරන්නට පුළුවන්. අද බෝම්බ නැහැ සාමය සමගිය රටේ රජකරනවා. සංවර්ධනයද ශීඝ්‍රයෙන් ඉදිරියට ඇදී යනවා. මේ වනවිට උපාධිධාරීන් 60,000 කට රජයේ රැකියා ලබාදී තිබෙනවා. එවැනි සංවර්ධනයක් මේ රටේ ඇති වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජයක් පත්වීම නිසයි. මේ යන ඉදිරි ගමන ආපසු හරවන්න එපා.

අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කාන්තාවන් පෙරමුණ ගන්නට ඕනෑ. ඒ නිසා තමයි දැන් ජනාධිපතිතුමා කාන්තාවන් වැඩි වශයෙන් දේශපාලනයට යොමුකිරීමට සූදානම් වන්නේ. ඒ නිසා මධ්‍යම පළාත් සභාවේ මහනුවර දිස්ත්‍රික්කයේ එජනිස එකම කාන්තා නියෝජනය ශක්තිමත් කරන ලෙස මම ඔබගෙන් ඉල්ලා සිටිනවා.

අපේක්ෂිකා සඳමාලි මංගලගම මහත්මිය - දැනට මා මහනුවර දිස්ත්‍රික්කයේ කාන්තා බල මණ්ඩල 300 ක පමණ උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා. ඒ තුළින් මා බලාපොරොත්තු වන්නේ මේ දිස්ත්‍රික්කයේ කාන්තාවන් ස්වයං රැකියා සඳහා දිරිමත් කිරීමටයි. අපේ රට තරගකාරීව ශීඝ්‍ර දියුණුවක් කරා ගමන්කරන යුගයක කාන්තාව උරෙන් උර ගැටී ශීඝ්‍ර නිෂ්පාදන ක්‍රියාවලියකට දායක වෙමින් සිටිනවා.

එසේම ගෘහයේදී ගෘහණියක් ලෙසින්, යහපත් භාර්යාවක් ලෙසින්, උත්තරීතර මවක් ලෙසින් දරුවන් හදා වඩා යහපත් දිවිපෙවෙතක් උදෙසා කාන්තාව කරන මෙහෙය සුලුපටු නොවේ. මේ සියලු දේ මා හඳුනනවා. එනිසා පළාත් සභාවේ කාන්තා නියෝජනය වශයෙන් ඔබ වෙනුවෙන් සියලු අංශවලින් කළ හැකි උපරිම මෙහෙවරක යෙදීමට ප්‍රතිඥා දෙන්නේ යැයි කීවාය.

ඇල්ලේකඩේ ශ්‍රී නාගරුක්ඛාරාමාධිපති පණ්ඩිත වැලිවෙහෙර උපාලි, අලවතුගොඩ ශ්‍රී විසුද්ධාරාමාධිපති ඉලුක්කුඹුරේ සීවලී හිමිවරු මෙහිදී අනුශාසනා පැවැත්වූහ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා