මුද්‍රණය සඳහා

 
පාරම්පරික දේශීය සහල් පරිභෝජනය ප්‍රචලිත කිරීමට නව ව්‍යාපෘතියක්

පාරම්පරික දේශීය සහල් පරිභෝජනය ප්‍රචලිත කිරීමට නව ව්‍යාපෘතියක්

ඖෂධීය ගු‍ණයෙන් යුත් පාරම්පරික දේශීය සහල් පරිභෝජනය ප්‍රචලිත කිරීමේ අරමුණෙන් තිරසාය යාය සංවර්ධන වැඩසටහන නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

දිස්ත්‍රික්ක 11ක මේ යටතේ මේ වන විට අක්කර 5,000 කට ආසන්න ප්‍රමාණයක වගා කටයුතු ක්‍රියාත්මක කර තිබේ. වගා බිම් ප්‍රමාණය පුළුල් කරමින් පාරම්පරික දේශීය සහල් නිෂ්පාදනයත් ඊට සමගාමීව පරිභෝජනය ප්‍රචලිත කිරීමත් මේ වැඩසටහනේ මූලික පරමාර්ථය වේ.

මා වී, සුවදැල්, රත්දැල්, කළුහීනටි, මඩතවාළු ඇතුළු දේශීය පාරම්පරික සහල් වර්ග රැසක් මේ වැඩසටහන යටතේ වගා කිරීමට සැලසුම් කර තිබේ.

වගා කෙරෙන වී අස්වැන්න ගොවීන්ගෙන් මිල දී ගෙන දේශීය පාරිභෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුබද්ධිත හදබිම අධිකාරිය ඇතුළු සෙසු ආයතන මෙන්ම වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතන සමඟ වැඩපිළිවෙළක් සකස් කරන ‍ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දැනට දියවන්නා ඔය ආශ්‍රිතව ආරම්භ කර ඇති කිඹුලාඇළ ප්‍රදේශයේ පාරම්පරික වී වගා යායට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත. ඉදිරියේදී මේ වැඩසටහන දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මීට අමතරව ඉදිරියේදී මේ ව්‍යාපෘතිය හරහා අපනයනය ඉලක්ක කර ගත් පාරම්පරික දේශීය සහල් නිෂ්පාදනය ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කිරීමට නියමිතය. බාස්මතී සහල් සඳහා වැය වන විදේශ විනිමය පිළිබඳව අවධානය යොමු කරමින් ඊට ආදේශකයක් ලෙස පරිභෝජනය කළ හැකි දේශීය සහල් වර්ග සංචාරක ව්‍යාපාරයට යොදා ගැනීම කෙරෙහිද කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු ව ඇත.

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග ව්‍යාප්තියට විසඳූමක් වශයෙන් ජනතාවගේ සහල් පරිභෝජන අවශ්‍යතාව කාලානුරූපීව වෙනස් කිරීම සඳහා තිරසාර යාය ව්‍යාපෘතිය මඟින් සිදු වනු ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය විශ්වාසය පල කරයි. විශේෂයෙන් දියවැඩියාව, අධික රුධිරපීඩනය, පිළිකාව ආදී බෝ නොවන රෝග රැසකට බලපා ඇති වර්තමාන ආහාර රටාවේ දුර්වලතා මඟහරවා ගනිමින් පෝෂ්‍ය ගුණයෙන් අනූන වස විසෙන් තොර සමබල ආහාර වේලක අවශ්‍යතාව පූරණය කිරීමට පාරම්පරික දේශීය සහල් නිෂ්පාදනය ව්‍යාප්තිය සහ භාවිතය ප්‍රචලිත කිරීම වැදගත් වන බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]