පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමයෙන් ජනාධිපති සහකාර ලේකම්ට සංදේශයක්

පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමයෙන් ජනාධිපති සහකාර ලේකම්ට සංදේශයක්

ක්‍රියාන්විතයේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන්ට සංයුක්ත දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමය කොටුව සම්බෝධි විහාරය අසලදී ඊයේ (11) උද්ඝෝෂණයක් පැවැත්වීය. ඉන් අනතුරුව එම සංගමයේ සභාපතිනි එච්. පී. චන්දිමා ගුණවර්ධන මහත්මිය ජනාධිපති සහකාර ලේකම් මේධා අබේමුල්ල මහත්මිය වෙත ජනාධිපති කාර්යාලයේදී ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලා සංදේශය බාරදීමට පැමිණි අයුරු.
ඡායාරූපය – ගයාන් පුෂ්පික

ත්‍රිවිධ හමුදාවට ලබාදෙන සංයුක්ත දීමනාව 2012 වසරේ සැප්තැම්බර් 17 දිනට පෙර මියගිය පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් සඳහා ද ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී.

පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් සඳහා යැපෙන්නන්ගේ දීමනාවක් නොගෙවන නමුත් 1989.06.15 දිනැති අංක 562/11 දරන ගැසට් පත්‍රයට අනුව යුද හමුදා සාමාජිකයන්ගේ යැපෙන්නන්ට දීමනාවක් ලබාදන බව මේ සංගමය පෙන්වා දෙයි.

පොලිස් විශේෂ කාර්ය බළකායද යුද්ධයේදී හමුදාව ලෙසම මෙහෙයක් කළද පොලිසිය දෙපාර්තමේන්තුවක් බැවින් එවැනි දීමනාවක් නොගෙවන බව දැනුම් දී ඇති බවද පොලිසිය දෙපාර්තමේන්තුවක් වූවද පැය අටකට සේවාව සීමා වී නැති බව පෙන්වා දෙමින් පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංගමය ජනාධිපති සහකාර ලේකම් මේදා අබේමුල්ල මහත්මිය වෙත ඊයේ (11) සංදේශයක් බාරදෙන ලදී.

පොලිස්පතිවරයාගේ ඉල්ලීම පරිදි ඉකුත් වසරේ සැප්තැම්බර් 17 දා සිට පොලිස් ආබාධිත වූවන් වෙනුවෙන් සංයුක්ත දීමනාවට සමාන දීමනාවක් ගෙවීමට අනුමැතිය ලබාදී ඇතත් එහිදී මියගිය නිලධාරින්ගේ යැපෙන්නන් අමතක කර ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා