ඇතැමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එදා ප්‍රභාකරන් ඉල්ලූ ඒවාමයි

ඊළාම් සිහිනය දේශපාලන න්‍යාය පත්‍ර වී යළි මතු වෙලා

ඇතැමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එදා ප්‍රභාකරන් ඉල්ලූ ඒවාමයි

ජනපති වවුනියාවේ දී කියයි

ඊළාම් සිහිනය දේශපාලන න්‍යාය පත්‍රයක් වී යළි මතු වුවත් රට කෑලිවලට කඩන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඇතැම් අයගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වශයෙන් යළි එළි දක්වා තිබෙන්නේ වසර හතරකට පෙර ප්‍රභාකරන් කළ ඉල්ලීම් බව පැවසූ ජනාධිපතිවරයා ප්‍රභාකරන්ට නොහැකි වූ දේ කරන්නට යළිත් කිසිවකුට ඉඩ නොදෙන බවත් රට බෙදන්නට තවත් කථා කිරීමෙන් ඵලක් නැති බවත් පැවසීය.

දිනා ගත් නිදහස නැති කර ගන්නට උතුරේ හෝ දකුණේ කිසිවකුත් කැමැති නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට බෙදන ඊළාම් සිහින මත හිඳිමින් ජාතිවාදය අවුස්සමින් ජීවත් වන්නට පුළුවන්කමක් නැති බවත් ප්‍රකාශ කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තරග වැද සිටින වවුනියාව දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරන විජයග්‍රාහී ජන රැලියට වවුනියාව නගරයේදී ඊයේ (11) එක්වෙමිනි.

උතුරට පමණක් නොව දකුණටත් බලපාන යම් යම් ගැටලු තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සියල්ල විසඳා ගනිමින් ඉදිරියට යාමට සැවොම එක්විය යුතු බව පැවසීය.

ජාතිවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වත්මන් රජය සියලු ආගම්වලට, ජාතීන්ට ගරු කරන රජයක් බවත් සෑම ජාතියක් ආගමක්ම රැකගෙන සියලු ජාතීන්ට ගරු කරමින් එකම රටක් තුළ ජීවත්වන්නට අප ඉගෙන ගත යුතු බවත් ජනාධිපතිවරයා කීවේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ඇමැති රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රභා ගනේෂන්, උනයිස් ෆාරුක්, එස්. සී. මුතුකුමාරණ, එච්. පී. පියසේන, වවුනියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රේමරත්න සුමතිපාල මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා