හිටපු එල්ටීටීඊ නායකයෙක් තවත් 25ක් සමඟ ආණ්ඩුවට

මන්නාරම එජනිස රැලියේදී

හිටපු එල්ටීටීඊ නායකයෙක් තවත් 25ක් සමඟ ආණ්ඩුවට

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව ගෙන යන රට සංවර්ධනය කිරීමේ උදාර වැඩපිළිවෙළ පිළිබඳ පැහැදී මන්නාරම හිටපු එල්.ටී.ටී.ඊ. දේශපාලන නායක එරම්බමූර්ති ශිවානන්ද රාජා (රොබට්) මහතා ප්‍රධාන සාමාජිකයෝ විසිපස් දෙනකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්තෙයි හා මන්නාරම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනකු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ඊයේ (11) පැවැති ජනහමුවේ දී ආණ්ඩුවට එක්වූහ.

වසර 2013 උතුරු පළාත් සභාවේ මංගල මැතිවරණයේ දී තම පූර්ණ සහාය බුලත්කොළය ලකුණින් තරග කරන කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් කැප කරන බවටද මේ පිරිස මෙහිදී ප්‍රතිඥා දුන්හ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්නාරම ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්. අර්ෆාත්, මන්තෙයි ප්‍රාදේශීය සභා මන්ත්‍රී රවුෆික් මාස්ටර් යන මහත්වරු ජනාධිපතිවරයාට බුලත් හුරුලු පිරිනමා තම සහාය පළකළහ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම මහජන ක්‍රීඩාංගණයේ පැවැති සතුටයි – නිදහසයි දිනවමු! තේමාව පෙරදැරි කරගත් ජනහමුවට බෞද්ධ, හින්දු, කතෝලික හා ඉස්ලාම් ආගමික නායක පූජක ප්‍රසාදීන් වහන්සේලා පැමිණ ආශිර්වාද පළ කළහ.

ධීවර හා ජලජ සම්පත් ඇමැති දොස්තර රාජිත සේනාරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන්, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උහයිස් ෆාරුක් යන මහත්වරු මෙහිදී කථා කළහ.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ඒ. එම්. එල්. එස්. හිස්බුල්ලා යන මහත්වරු ප්‍රධාන අතිවිශාල පිරිසක් මේ ජනරැලියට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා