සිරකරු දිනය අදයි

සිරකරු දිනය අදයි

රැඳවියන් 1500කට ජනපති සමාව

අදට (12) යෙදෙන සිරකරු දිනය නිමිත්තෙන් සිරකරුවන් 1500 දෙනකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිරිනමන විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස ලබනු ඇත.

දහසක් පමණ සුළු වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටින අයයි. ඔවුන් දැනට ගෙවා ඇති සිර දඬුවම් කාලය සලකා බලා ඉදිරියට ගෙවීමට ඇති දඬුවම් කාලය මේ මගින් අහෝසි කෙරේ. අවුරුදු 70 ඉක්මවූ වයස්ගත සිරකරුවන්ට ඉදිරියට ඇති දඬුවම් කාලය නොසලකා හැර ඔවුන්ද නිදහස් කිරීම ජනාධිපති විශේෂ සමාව යටතේ සිදුවේ.

අද (12) දින දක්වා දඬුවම් විඳින සියලුම සිරකරුවන් ගෙවන ලද වසරක දඬුවම් කාලයකට හෝ ඉන් කොටසකට සතිය බැගින් වූ සමා කාලයක් මගින් දඬුවම කෙටි කර ඔවුනට ද මේ යටතේ නිදහස ලබා දී ඇත.

මෙයට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බලපත්‍ර මණ්ඩලය මගින් නියම කළ විශේෂ බලපත්‍ර යටතේ තවත් සිරකරුවන් 17 දෙනෙකු අද (12) දින නිදහස ලබයි. මෙම සිරකරුවන් නිදහස් කිරීම අද කොළඹ අග්‍රශ්‍රාවක විහාර පරිශ්‍රයේ දී පැවැත්වෙන ජාතික සිරකරු දින උත්සවයේ දී නිල වශයෙන් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා අතින් සිදුකෙරේ.

නීතිවිරෝධී රැස්වීම්, දරුණු මංකොල්ලකෑම්, දරුණු මිනීමැරුම්, ගෙවල් බිඳීම්, රාජද්‍රෝහී ක්‍රියා, පැහැර ගැනීම්, අසැබි ප්‍රකාශන මගින් ළමුන් පෙලඹවීම්, ස්ත්‍රී - ළමා දූෂණ, ණය බදුකර හෝ අල්ලස් වැරදි, ත්‍රස්ත විරෝධී ක්‍රියා, හදිසි නීති උල්ලංඝනය ඇතුළු වැරදි විස්සකට යටත්ව දඬුවම් විඳින සිරකරුවන් හැර සෙසු සිරකරුවන් මෙම විශේෂ රාජ්‍ය සමාවට හිමිකම් කියනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා