මුද්‍රණය සඳහා

 
අසත්‍ය චෝදනා නඟන කොටි හිතවාදීන්ට රටේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනය බලන් ඉන්න බෑ

අසත්‍ය චෝදනා නඟන කොටි හිතවාදීන්ට රටේ සිදුවන ශීඝ්‍ර සංවර්ධනය බලන් ඉන්න බෑ

අපි කුරිරු කොටි ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමෙන් පරාජය කළත් ජාත්‍යන්තර කොටි හිතවාදීන් සහ ඩයස්පෝරාව වත්මන් රජය මානව හිමිකම් කඩකර ඇති බවට අසත්‍ය චෝදනා නඟමින් අපේ රටට අපකීර්තියක් ගෙන දීමේ විශාල උත්සාහයක යෙදෙමින් සිටිනවා.

ඔවුන්ට අපේ රටේ සිදුවෙමින් පවතින ශීඝ්‍ර සංවර්ධනය දෙස බලා සිටීමට බැරිව සිටින්නේ යැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

මධ්‍යම පළාත් සභා (එජනිස) අපේක්ෂක ගුණතිලක රාජපක්ෂ මහතාට සහය පළකිරීම සඳහා හාරිස්පත්තුවේ ගල්ලෑල්ල ග්‍රාමයේ පැවැති ජනහමුවකදී ඒ මහතා එසේ පැවැසීය.

ඇමැතිවරයා මෙසේද කීය.

පසුගියදා අපේ රටට පැමිණි නවනීන්දන් පිල්ලේ මානව හිමිකම් කොමසාරිස්තුමිය ස්වාධීන විමර්ශනයකින් තොරව පක්ෂග්‍රාහී විමර්ශනයකින් පසුව අපේ රට ඒකාධිපති රාජ්‍ය පාලනයක ස්වරූපයක් ගනිමින් සිටිනවා යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එතුමිය මේ රටට පැමිණෙන විටත් අපේ රටේ පළාත් තුනක මැතිවරණ පවත්වනවා. මහජනතාවට තමන්ට කැමති පක්ෂයක් පුද්ගලයින් තෝරාගැනීමේ නිදහස ලබාදී තිබෙනවා. මෙයට වැඩිය ප්‍රජාතන්ත්‍රවාදයක් ලෝකේ තිබෙනවාද.

වසර තිහක් ලෝක ජනතාව දණගස්වපු, නායකයන් ගණනාවක් ඝාතනය කළ කුරිරු කොටි ත්‍රස්තවාදීන් දෙවසරක් ඇතුළත පරාජය කළ වත්මන් රජය මානුෂික මෙහෙයුම් සිදුකෙරෙමින් පැවැති යුගයේ වුවද රටේ සංවර්ධනය අඩු කෙළේ නෑ. සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී රාජ්‍ය සේවා සඳහා ලබාදුන් ප්‍රතිපාදන වැඩිකළා මිස අඩුකළේ නෑ. වරායන්, ගුවන්තොටුපොළ, ක්‍රීඩාංගණ, නිවාස යෝජනා ක්‍රම, දැවැන්ත වාරි ව්‍යාපෘති එලෙසම සංවර්ධනය කළා.

එදා පැවැති (එජාප) රාජ්‍ය සේවය විශාල ලෙස කප්පාදු කළා. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු උපාධිධාරින් පනස් දෙදහසක් එක්වර රාජ්‍ය ‍ෙස්වයට ඇතුළත් කළා. ලක්ෂ අට දක්වා අඩුකර තිබූූ රාජ්‍ය සේවය ලක්ෂ දහතුන දක්වා වැඩි කළා. ගම්මාන දාහතර දාහක සංවර්ධන කටයුතු එකවර මගනැඟුම, ගම නැඟුම යටතේ ආරම්භ කළා.

ජලය සහ විදුලි සැපයුම් විශාල වශයෙන් සිදුකළ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව ලෝකයේ ඕනෑම සංචාරකයකුට ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක නිදහසේ සංචාරය කිරීමේ නිදහස ලබාදී තිබෙනවා. වත්මන් රජය සිදුකෙරෙමින් පවතින මෙම කාර්යයන් ඒකාධිපති පාලන ස්වරූපයක් ගන්නා ක්‍රියා පිළිවෙත්ද?

මේ තමයි ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කරන ආකාරය. අද අපේ අනාගත පරපුරට රට ගැන අනාගතය ගැන විශ්වාසයක් තබාගත හැකියි. මෙවර මධ්‍යම පළාත් සභාවට තරග වදින (එජනිස) අපේක්ෂකයන්ට තරගයක් නෑ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]