නැවියන්ගේ ප්‍රහාරය හමුවේ පීටරයිට් පසු බසී

නැවියන්ගේ ප්‍රහාරය හමුවේ පීටරයිට් පසු බසී

කොළඹ හෙන්රි පේද්‍රිස් පිටියේ පැවැති කාල්ටන් බාස්කට්බෝල් ශූරතාවලියේ පළමු කොටසේ බී කාණ්ඩයේ 11වැනි තරගයෙන් පීටරයිට් පිල පරදවා ලකුණු 70-55ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කණ්ඩායම සමත්විය. පළමු භාගය 28-26ක් ලෙසින් පැවැති අතර තරගයේ තෙවැන් කාර්තුවේදී උණුසුම් සටනකින් ජයගැනීමට නාවිකයන්ට හැකිවිය.

පීටරයිට්-නාවික අතර තරගයෙන්

චරිත් පෙරේරා ලකුණු 26ක්, දනුක මුතුකුඩආරච්චි ලකුණු 17 රැස්කරමින් නාවික පිල ජයග්‍රහණය කරාගෙන ගියේය. පීටරයිට් වෙනුවෙන් ලක්ෂාන් සමරසිංහ ලකුණු 22ක් හා ජෙරාඩ් ප්‍රනාන්දු ලකුණු 12ක් රැස් කළේය.

ඒ කාණ්ඩයේ 8වැන්න වු කොළඹ බුල්ස් පිල හා වත්තල බාස්කට්බෝල් පිල අතර තරගයෙන් ලකුණු 3ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සමත්විය. පළමු භාගයේදී වත්තල පිල 18-23ක් ලෙස ඉදිරියෙන් පසුවු අතර තරගය නිමාවුයේ ලකුණු 54-51ක් ලෙස කොළඹ පිලට ජය හිමිවෙමිනි.

කොළඹ පිල ජයග්‍රහණය කරාගෙන ගිය ශානක පෙරේරා ලකුණු 12ක් හා මොහෙදීන් මෆාස් ලකුණු 8ක් ලබාගත් අතර වත්තල පිලට ජගත් පුෂ්පකුමාර හා තුෂාර ජයරත්න ලකුණු 12 බැගින් එක් කළේය.

බ්ලැක්ස්-බ්ලුස් ජයගනී

පළමු කොටසේ තරගාවලියේ 9 වැනි දිනට පැවැති තරගවලින් විශිෂ්ට ජයග්‍රහණ හිමිකර ගැනීමට හම්බන්තොට බ්ලැක්ස් හා බ්ලූස් කණ්ඩායම් සමත්වුහ.

බ්ලැක්ස් පිල හමුවේ ඕල්ඩ් බෙන්ස් ලකුණු 70-43කින් ද, බ්ලූස් හමුවේ ශ්‍රී ලංකා පොලිස් පිල ලකුණු 67-42කින්ද පරාජයට පත්විය.

කුරුණෑගලට තියුණු ජයක්

තරගාවලියේ දෙවැනි කො‍ටසින් 18 වැනි දිනට පැවැති තරගයකින් තියුණු ජයක් හිමිකර ගැනීමට කුරුණෑගල කණ්ඩායම සමත්විය. පොලිස් පිටියේ පැවැති තරගයේ පළමු භාගයේදී ලකුණු 33-25ක් ලෙස කුරුණෑගල ඉදිරියෙන් සිටියද තරගය නිමවනවිට ලකුණු තත්ත්වය වුයේ 68-66ක් ලෙසිනි. සහන් ලකුණු 25ක් රැස්කරමින් කුරුණෑගල පිල ජයග්‍රහණය කරාගෙන ගිය අතර ටිෂාන් ලකුණු 23ක් ඔටර්ස් පිලට එක් කළේය.

කොළඹ ජාත්‍යන්තර පාසල, කොළඹ 'බී' හා ඕල් ග්‍රීන්ස් කණ්ඩායම්ද එදින ජයග්‍රහණ වාර්තා කළේය. ඕල් ග්‍රීන්ස් හමුවේ ඕල්ඩ් කැම්බ්‍රියන්ස් ලකුණු 75-65කින් පරාජයට පත්විය.

අමාල් පිටියේ පැවැති තරගවලින් කොළඹ ජාත්‍යන්තර පාසල රාවන්ස් ලකුණු 70-45කින් පරාජයට පත්කළ අතර වාසින්ස් පිලට එරෙහිව ලකුණු 82-58ක ජයක් කොළඹ 'බී' පිලට හිමිවිය. රමේෂ් 24 (ඕල්ඩ් කැම්බ්‍රියන්ස්), තරිඳු 23 (ඕල් ග්‍රීන්ස්), මාර්ක් 23 (කොළඹ 'බී'), විමුක්ති 21 (වාසින්ස්), ලසිත් 14 (ජාත්‍යන්තර පාසල) හා ලසිත් 18 (රාවන්ස්) කණ්ඩායම් වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා