සාෆ් පාපන්දු ඉතිහාසය වෙනස් කරමින් ඇෆ්ගන් ක්‍රීඩකයෝ ඉන්දියාව පරදවති

සාෆ් පාපන්දු ඉතිහාසය වෙනස් කරමින් ඇෆ්ගන් ක්‍රීඩකයෝ ඉන්දියාව පරදවති

දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයට අලුත් පරිච්ඡේදයක් එක්කළ ඇෆ්ගනිස්තානය පළමු වරට සාෆ් රන් කුසලානය හිමිකර ගත්තේය. නේපාලයේ දසරාත් රංගසාලා ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති අවසන් මහා තරගයේදී ගෝල් 2-0කින් ඉන්දියාව පරදා ඇෆ්ගනිස්තානය මේ ඓතිහාසික ජය වාර්තා කළේය.

වසර 2011දී ඉන්දියාව හමුවේ ගෝල් 4-0කින් ශූරතාව අහිමිකරගත් ඇෆ්ගන් ක්‍රීඩකයෝ මෙවර ශූරතාව දිනා ගැනීමේ අධිෂ්ඨානයකින් පිවිස තම සිහිනය සැබෑ කරගත්හ.

තරගයේ 9වැනි මිනිත්තුවේදී ඉන්දීය ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් ඇෆ්ගනිස්තානයේ මුෂ්ටාෆ් ඇස්ඩොසී ගෝලයක් වාර්තා කරමින් ජයග්‍රහණයේ ආරම්භය සටහන් කළේය. බෙල්ලා ඇරොසුගේ අගනා පන්දු යොමුවක් ඉන්දීය ගෝල් රකින්නාගේ ඉලක්කයට හසුනොවී එල්ල කිරීමට මුෂ්ටාෆා සමත්විය.

තරගයේ පළමු භාගය ගෝල් 1-0ක් ලෙස ඇෆ්ගනිස්තානය ඉදිරියෙන් සිටි අතර ඉන්දීය ක්‍රීඩකයන් විවේකයේදී කළ සියලු සැලසුම් දෙවැනි භාගයේදී ව්‍යවර්ථ කිරීමට ඇෆ්ගන් ක්‍රීඩකයන් කටයුතු කළහ.

එහි ප්‍රතිඵලය වුයේ 62 වැනි මිනිත්තුවේදී ගෝල් කණුව ඉදිරියේදී සන්ජර් අහමදී අගනා ගෝලයක් ලබා ගනිමින් ඉන්දීය ආරක්ෂක වළල්ලට ප්‍රබල තර්ජනයක් ගෙන ඒමය. ඉන්දීය දැල් රකින ක්‍රීඩකයාගේ පළමු උත්සහය සාර්ථකවී ඉදිරියට එන පන්දුවට හිසෙන් පහරක් එල්ලකර ඇෆ්ගන් දෙවැනි ගෝලය සටහන් කිරීම ඉන්දීය ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සුන් කළහ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 139 වැනි ස්ථානයේ සිටි ඇෆ්ගනිස්තානය 145 වැනි ස්ථානයේ සිටි ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් දෙනු ඇතැයි බොහෝ දෙනා පළ කළ විචාර සනාථ වුයේ ඇෆ්ගන් ආරක්ෂක වළල්ලේ දක්ෂතාව හේතුවෙනි. එම ආරක්ෂක වළල්ලේ දක්ෂතාව ඉතාම සැලසුම් සහගත ක්‍රීඩා විලාශයක් වීම කැපී පෙනුණි.

සා‍ෆ් ශූරතාව දිනාගත් ඇෆ්ගනිස්තානය මුල්වරට ජාත්‍යන්තර පාපන්දු කුසලානයකට හිමිකම්කීමද විශේෂත්වයකි. ජයග්‍රාහී ඇෆ්ගනිස්තානයට අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් හිමිවු අතර අනුශූර ඉන්දියාවට අමෙරිකානු ඩොලර් 25,000ක් හිමිවිය. තරගාවලියේ ගෝල් 10ක් ලැබු මාලදිවයින් පාපන්දු නායක අලි අෂ්ෆාක් දක්ෂතම ක්‍රීඩකයා වු අතර තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානය ඇෆ්ගනිස්තානයේ මන්සූර් ෆගිර්යා දිනාගත්තේය.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා