සිරියාවට පහර නොදෙන බව කියන්න කල් වැඩියි

සිරියාවට පහර නොදෙන බව කියන්න කල් වැඩියි

පුටින්ගේ පොරොන්දුවට ප්‍රතිචාර දක්වමින් ඔබාමා කියයි

සිරියා‍ව සතු රසායනික අවි ජගත් සංවිධානයට බාර දෙන බවට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පෙරේදා දුන් පොරොන්දුව මත රාජතාන්ත්‍රික ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීම සලකා බලන බව ජනාධිපති ඔබාමා අඟහරුවාදා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශනයේ දී පවසා තිබේ.

ඒ අනුව සිරියාවේ ඉලක්කවලට ගුවනින් පහර දීමට යුදමය වශයෙන් මැදිහත් විමේ තිරණය පසෙක දමනු ඇති බවට දැන්ම ප්‍රකාශ කිරීම කල් වැඩි බව කියා ඇත. ළමයින් 450 කට ඩැඩි පිරිසක් ඇතුළු 1000 කට අධික පිරිසක් ඝාතනයට ලක් කළ කෲර රසායනික අවි ප්‍රහාරය දෙස ඇස් කන් පියා අහක බලා සිටීමෙන් සිදුවන්නේ ජාත්‍යන්තර නීතිය පිළිබඳව කිසිදු තැකීමකින් තොරව යළිත් එවැනි ප්‍රහාරයකට සිරියාවට ඉඩ කඩ ලබා දීම බව ජනාධිපති ඔබාමා අවධාරණය කර තිබේ.

සිරියාව සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් තුන් වතාවක් ගත් තීරණ රුසියාව නිෂේධ බලය පාවිච්චි කර නිශ්ප්‍රභ කළේය. ඒ අතර පසුගියදා දිගටම තර්ජනය කළේ අමෙරිකාව රුසියාවට යුද්ධමය වශයෙන් මැදිහත් වුවහොත් ප්‍රති ප්‍රහාර දෙන බවයි. මේ අතර සිරියාව සෙසු මිත්‍ර රටවල සහාය ඇතිව අමෙරිකාවට හොඳ පාඩමක් උගන්වන බවට වහසි බස් දෙඩුවත් රුසියාවේ යෝජනාව පරිදි රසායනික අවි ජගත් සංවිධානයට බාර දීමට එකඟ වි ඇත.

රුසියාවේ සහ සිරියාවේ සද්භාවය පිළිබඳව බොහෝ විද්වතුන් තුළ විශවාසයක් නැත. මෙය කල්මැරීමට රුසියාව දරන උත්සාහයක් බවට ඔවුහු මත පළ කරති.

අවසාන මොහොතේ රුසියාව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් රුසියානු රාජ්‍ය ලේකම්වරයා සමඟ සාකච්ඡා කිරීමට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ජිනීවා බලා යැවීමට ජනාධිපති ඔබාමා තිරණය කර තිබේ. මෙවැනි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ගයකට රුසියානු ජනාධිපතිවරයා යොමු වූයේ සිරියානුරජයේ ම්ලේච්ඡ රසායනික අවි ප්‍රහාරයට එරෛහිව යුදමය වශයෙන් මැදිහත් වන බවට කළ තර්ජනය නිසා බව ජනාධිපති ඔබාමා අවධාරණය කර තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා