කෙන්යාව අපේ කල්‍යාණ මිත්‍රයා

කෙන්යාව අපේ කල්‍යාණ මිත්‍රයා

ශ්‍රී ලංකාව මෙන් ම කෙන්යාව ද ඉකි ගසා හඬමින් සිහිපත් කළ යුතු අතීතයක උරුමක්කාරයෝ වෙති. ඉංග්‍රීසිකාරයෝ අපේ වගේම කෙන්යාවේ ද සාරභූමි හිමි කරගෙන එහි වාණිජ වගා ආරම්භ කළහ. තේ, කෝපි, හා පයිපෙතරම් එම වගා අතර ප්‍රධාන විය. ගීකියූ භාෂාව කථාකරන ස්වදේශිකයන් ඉංග්‍රීසීන් අතින් වහලුන් බවට පත් විණි. ජීවත්වීම සඳහා ඉංග්‍රීසීන්ගේ වාණිජ වතුවල වැඩ කිරීම හැර වෙනත් උපාය මාර්ගයක් කෙන්යානු ජනතාවට නොතිබිණි. මේ ඉතිහාසය ශ්‍රී ලංකාවේ උඩරැටියන් සමඟ කෙතරම් සමපාත වේද?

කෙන්යාව කියූ සැණෙන් ලෝකය ගැන දන්නා ප්‍රබුද්ධයකුගේ මනසට නැ‍ඟෙන ප්‍රධාන සාධක කිහිපයක් තිබේ. එක නයිරෝබී නුවරය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාකච්ඡා පරිශ්‍රයක් මෙන්ම රාජකාරි සංකීර්ණයක් ද එහි පවතී. දෙක යටත්විජිතවාදයට හා අප්‍රිකාවේ දුර්දාන්ත සුදු පාලනයට එරෙහි ව නැඟී සිටි බෝ - බෝ ව්‍යාපාරය යි. එය කෙන්යාව නිදහස් රාජ්‍යයක් බවට පත්කිරීමට අත්තිවාරමක් ලෙස පැවැතිණි. තුන කෙන්යාවේ සාහිත්‍යය හා නාට්‍ය කලාවය. කෙන්යාවේ නාට්‍ය රචකයකු හා නවකකතා කරුවකුවන නුගුගිවා තියාංගෝ ඒ රටේ දේශපාලන වෙනසක් කිරීමට දායකත්වය සැපයී ය.

අප්‍රිකාව යනු සම්පත් ආකාරයකි. එහෙත් සුද්දා එය හැඳින්වූයේ අඳුරු මහද්වීපය ලෙසය. ඊට හේතුව වූයේ අප්‍රිකාවේ පැවැති දුප්පත්කම හා නූගත්කම ය. මේ දුප්පත්කම හා නූගත්කම අධිරාජ්‍යවාදයේ ම ප්‍රතිඵලයක් මිස අන් දෙයක් නොවේ. අප්‍රිකාවේ අති දක්ෂ මිනිස්සු සිටිති. නෙල්සන් මැන්ඩෙලා හා චිනුවා අචෙබෙ ඊට හොඳ ම නිදර්ශන නොවේද?

අපට එක්තරා කතාවක් සිහියට නැ‍ඟේ. එම කතාවට අනුව ලෝකයේ ඉතා මිහිරි ස්වාභාවික තේ නිෂ්පාදනය කරන හා අපනයනය කරන ප්‍රධාන රාජ්‍යයන් තුනක් තිබේ. එනම් ශ්‍රී ලංකාව, ඉන්දියාව හා කෙන්යාවයි. මේ රටවල් තුනලෝකයේ තේ ආධිපත්‍යය හිමිකරගෙන තිබේ. එය කිසිකලෙකත් වෙනස් කළ නොහැකි නිත්‍ය සාධකයක් ලෙස පවතී. අපට මෙන් ම ඉන්දියාවට හා කෙන්යාවට ද ලෝකයේ පළමු තැන ලබා ගත හැකි ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව් දින චාරිකාවක් සඳහා කෙන්යාව බලා පියාසර කළේය. කෙන්යාවේ ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා පිළිගත්තේය. ඔහුට ඉහළම පුද සත්කාර කළේය. එහිදී විවිධ ක්ෂේත්‍රවලට අයත් ගිවිසුම් අටක් අස්සන් කළ බව අපට දැනගන්නට ලැබේ. එම ගිවිසුම් ශ්‍රී ලංකාවේ හා කෙන්යාවේ ආර්ථිකයට, දේශපාලනයට හා සංස්කෘතියට ඉතා වැදගත් ය. කෙන්යාව නම් රාජ්‍යයේ සංචාරයක නියුතු වූ ප්‍රථම ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයා ලෙසද මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වෙයි. එයින් පෙනී යන්නේ මෙතෙක් සිටි රාජ්‍ය නායකයන් කෙන්යාව ගැන උනන්දු නොවූ බව ය.

ලෝක ආර්ථික විග්‍රහවලට අනුව කල්පනා කළහොත්; බිඳවැටෙන යුරෝපය මෙන් නොව ආසියාව හා අප්‍රිකාව තව ම සම්පත් සහිතව නැඟී සිටී. අද රාජ්‍ය පාලනයෙන් නියුතු බුද්ධිමත් රාජ්‍ය පාලකයකු වෙතොත් පළමුව කළ යුත්ත් අප්‍රිකාවේ රටවල් හෝ ආසියාවේ රටවල් හෝ තම ආධිපත්‍යයට ගැනීම ය. ආධිපත්‍යය යන්නෙන් මෙහිදී අදහස් වන්නේ ගැඹුරු සම්බන්ධතා පැවැත්වීම ය. 2005 න් පසු අපේ විදේශ ප්‍රතිපත්තිය වඩාත් බුද්ධිමත් විය. කාලෝචිත විය. එහි කැපී පෙනෙන ලක්ෂණය වන්නේ අප්‍රිකාවේ නිදහස් රාජ්‍යයන් දෙසට ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී තිබීම ය.

කෙන්යාව හැඳින්විය හැක්කේ නව යටත්විජිතවාදී වහලුන් බිහිකිරීම නවතා දැමූ රජයක් ලෙසටය. ත්‍රස්තවාදය මර්දනය කරමින් සිටින රාජ්‍යයක් ලෙසට ය. තවම එහි බෝම්බ පිපිරීම් සිදු වේ. මරාගෙන මැරෙන බෙදුම්වාදී ස්ත්‍රීන් විසින් බොහෝ කළකොළොප්පම් කරනු ලැබේ. එහෙත් කෙන්යාවේ වත්මන් ජනාධිපතිවරයා සියල්ල පාලනය කරමින් රටේ ස්වාධීනත්වය හා ආර්ථික සංවර්ධනය ගැන කල්පනා කරයි. ඒවාද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන් රටේ ස්වෛරීත්වය හා ආර්ථික සංවර්ධනය ගැන ගැඹුරින් කල්පනා කරන තැනැත්තෙකි. ඊට හොඳම නිදසුන හා සාක්ෂිය කෙන්යානු චාරිකාව වේ.

ශ්‍රී ලංකාවට දියුණු විය හැකි මාර්ග ගණනාවක් තිබේ. පළමුවන්න දේශපාලනය ය. දෙවන්න පැරැණි සංවිධාන දුර්වල කිරීමට අදාළ අභ්‍යන්තර ආරක්ෂක සංවිධානය. තෙවන්න කලා - සාහිත්‍ය ආදී ක්ෂේත්‍රවල ඇතිකළ හැකි ක්ෂණික ප්‍රබෝධනය ය. මේවා තේරුම් නොගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය හෝ සමාජ ක්‍රමය හෝ නිවැරැදි ලෙස වටහාගැනීම අසීරු වේ. ජනාධිපතිවයා එම අභියෝග ජයගෙන තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා