මේ අය - වැය දුරදිග බලා ඉදිරිපත් කළ එකක්

මේ අය - වැය දුරදිග බලා ඉදිරිපත් කළ එකක්

අතාවුද සෙ‍නෙවිරත්න
ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති

වර්තමාන සමාජ දේශපාලන වාතාවරණය ග්‍රාමීය සංවර්ධනය සඳහා ආණ්ඩුව ගෙන ඇති වැඩපිළිවෙළ අය-වැය යෝජනා රටේ සැමට බලපාන ආකාරය හා තවත් සමාජ හා දේශපාලන කරුණු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

* ග්‍රාමීය කටයුතු සංවර්ධනය හා ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කෙරේ ආණ්ඩුව ලබා දී ඇති දායකත්වය පිළිබඳ ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

ග්‍රාමීය ප්‍රදේශවලට, සංවර්ධනයට විශාලම දායකත්වය ලබා දුන්නේ මේ ආණ්ඩුවයි. ඒ සංවර්ධන කටයුතු කෙතෙක්දැයි කියතොත්, මෙතෙක් බලයේ සිටි කිසිදු ආණ්ඩුවක් මෙතරම් විශාල කාර්ය භාරයක් සංවර්ධනයක් ග්‍රාමීය ප්‍රදේශවලට සිදුකළේ නැහැ. ඒ ගැන දේශපාලන භේදයකින් තොරව ඕනෑම කෙනෙකු පිළිගන්නවා. අද ග්‍රාමීය ප්‍රදේශයක් ගත්තොත් මූලික අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණ වෙලා තිබෙන්නේ.

පුළුල් හා කාපට් ඇතිරූ මාර්ග, විදුලිය, පානීය ජලය යන හැම අංශයකින්ම මූලික අවශ්‍යතා සපුරා තිබෙන්නේ. ඒ නිසා තමයි මා මුලින්ම ප්‍රකාශ කළේ ග්‍රාමීය ප්‍රදේශවලට වැඩියෙන්ම වැඩ කළේ මේ ආණ්ඩුව කියලා. අපිත් ග්‍රාමීය ප්‍රදේශවල සිට දේශපාලනය කළ හා කරන අය විදිහට මේ පළාත්වල සිදු වී ඇති පරිවර්තනය දෙඇසින් දැක ගැනීමට පුළුවන් වෙලා තිබෙනවා.

2005 වන විට ජාතික විදුලි පද්ධතියෙන් ආවරණය වෙලා තිබුණේ 70% ආසන්න ප්‍රමාණයක් පමණයි. අද වන විට එම ප්‍රමාණය 95% ඉක්මවමින් තිබෙන්නේ. මේ ආණ්ඩුව ඉතාමත් හොඳින් මේ කාර්ය භාරය ඉටුකරමින් සිටින්නේ. ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග පද්ධතිය වුණත් එදා තිබුණේ ඉතාමත් පහළ තත්ත්වයක. වාහනයක් ධාවනය කිරීමට නොවෙයි මේ මාර්ගවල පාගමනින් යන එක පවා ගැටලු සහගත තත්ත්වයකයි තිබුණේ.

ඒත් ජනාධිපතිතුමා බලයට පැමිණි පසු මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කර, ග්‍රාමීය මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට හැකියාව ලැබුණා. පානීය ජල පහසුකම් අවශ්‍ය ප්‍රදේශවලට ලබාදීමට ද රජය කටයුතු කර තිබෙනවා. මේ හැම කාරණයක්ම ගෙන බැලුවාම, ආණ්ඩුව ගම්බද ප්‍රදේශවලට කළ සේවය පිළිබඳ ඇගැයීමක් කළ හැකියි.

* ඔබ ඔවැනි තර්කයක් ගොඩනැඟුව, ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ දැමීමට ආණ්ඩුවට පැහැදිලි වැඩපිළිවෙළක් නැතැයි ඇතැම් අය චෝදනා එල්ල කරනවා. මේ ගැන ඔබේ මතය පැහැදිලි කළ හැකිද?

ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ ගිහින් නැතැයි ඔබට ඇති සාක්ෂි මොනවාද? මේ චෝදනා එල්ල කරන කණ්ඩායම් කවුද කියලා සලකා බැලිය යුතුයි. ඒ අනුව බලද්දී අපට පැහැදිලි වන ප්‍රමුඛ කරුණ වන්නේ මේ චෝදනාව අසත්‍ය හා පදනම් විරහිත බවයි. ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය සහනාධාර කටයුතු පොහොර සහනාධාර ලබාදීම් මේ ආණ්ඩුව මගිනුයි සිදු කරන්නේ. එවැනි වැඩපිළිවෙළක් මීට පෙර ක්‍රියාත්මක වුණේ නැහැ. මේ සහනාධාර ක්‍රම නිසා ගමේ ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබී තිබෙනවා. අද ගැමි ආර්ථිකය ඉහළ යාමටත් ස්ථාවර වීමටත් බලපා තිබෙන්නේ කෘෂිකර්ම ආර්ථික රටාව සාර්ථක කිරීමට අපට පුළුවන් වීම නිසයි.

* මෙවර අයවැය යෝජනා ගැන ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?

රට ගැන සිතා රටේ ආර්ථීකය ස්ථාපිත කිරීමට දේශීය ආර්ථික රටාව ශක්තිමත් කිරීමට රජය ගෙන ආ හොඳ අයවැයක් විදිහට හඳුන්වාදීමට පුළුවන්. ඒ නිසා මේ අයවැයට විරුද්ධව චෝදනා එල්ල කරන එහි ගත යුත්තක් නොමැති බවට ප්‍රකාශ කරන අයට කියන්න තිබෙන්නේ දේශපාලනය අරමුණු කරගෙන පමණක් කරන මේ රංගනයන් ජනතාව පිළිනොගන්නා බවයි. අද ඇතැම් පරාජිත දේශපාලන පක්ෂවලට අවශ්‍යව තිබෙන්නේ තමන්ගේ පටු අරමුණු කුමන හෝ දෙයක් මාර්ගයෙන් සපුරා ගැනීමයි.

ඒත් බුද්ධිමත් දේශපාලනයක්, මහත්මා දේශපාලනයක් කරන එක තමයි සුදුසු. එහෙම නොමැතිව ආණ්ඩුව සිදුකරන සැම දේටම විරුද්ධවීම මුහුකුරා ගිය දේශපාලන හැසිරීමක් විදිහට පෙන්වා දීමට බැහැ. මෙවර ජනාධිපතිතුමා ඉදිරිපත් කර තිබෙන්නේ ළඟ බලා ඉදිරිපත් කළ අයවැයක් නෙ‍ාවෙයි. දුරදිග බලා ඉදිරිපත් කළ ජනතාවාදී අයවැයකුයි. මෙවැනි අයවැයකට කිසිවකු චෝදනා එල්ල කරනවා නම්, ඔහු නිසි අවබෝධයක් රහිතව එල්ල කරන චෝදනාවක් විදිහටයි හඳුන්වා දීමට පුළුවන්.

* රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණයවී ඇතැයි ඇතැම් පාර්ශ්ව චෝදනා එල්ල කරනවා. මේ චෝදනාව පිළිබඳව ඔබේ අදහස පැහැදිලි කළ හැකිද?‍

ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කියා චෝදනා එල්ල කරන්නේ කුමන පදනමකින්ද කියන එක ගැටලු සහගතයි. අපේ ආණ්ඩුවට ඉතාමත් පැහැදිලි වැඩපිළිවෙළක් තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට. අප මූලිකවම වැඩ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය මූලික කරගෙනයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය නැතැයි කිසිවකුට චෝදනා එල්ල කරන්න බැහැ. අපි නිසි කලට මැතිවරණ පවත්වනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කර තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝනය කරමින් මේ ආණ්ඩුව කටයුතු කරන බවට වූ චෝදනා නිෂ්ප්‍රභා වෙනවා.

* ආණ්ඩුවේ මතුපිට ශක්තිමත් භාවයක් පෙන්නුම් කළත්, ප්‍රාදේශීය මට්ටමින් ආණ්ඩුවේ කඩාවැටීමක් ඇතැයි විචාරකයෝ අදහස් පළකරනවා. එයට උදාහරණ විදිහට ඔවුන් දක්වන්නේ පළාත් පාලන ආයතනවල අය-වැය යෝජනා පරාජය වීමයි. මේ ගැන ඔබේ මතය කුමක්ද?

මධ්‍යම ආණ්ඩුව හා පළාත් පාලන ආයතන අතර සම්බන්ධය මේ විදිහට සරලව සසඳා බැලීම සුදුසු දෙයක් නොවෙයි. පළාත් පාලන ආයතනවල අය-වැය පරදින්නේ පළාත් පාලන ප්‍රධානීන් හා ඇති ගැටුම් සහගත තත්ත්වයන් නිසා. ඒ හැර මෙතැන ආණ්ඩුව පිළිබඳ හෝ ජනාධිපතිතුමා ගැන ඇතිවූ ගැටලු සහගත තත්ත්වයක් නොවෙයි. ඒ නිසා පළාත් පාලන ආයතන හා මධ්‍යම රජය අතර සැසඳීම් කිරීම නිවැරැදි ක්‍රමවේදයක් විදිහට හඳුන්වන්න බැහැ.

* ඉදිරියේදී පැවැත්වීමට නියමිත බස්නාහිර, දකුණු පළාත් සභා මැතිවරණ සඳහා මුහුණදීමට ඇති හැකියාව හා සැලැසුම් පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

බස්නාහිරදී මෙන්ම දකුණේදීත් අපට ඉතාමත් වාසිදායක තත්ත්වයක් තිබෙන්නේ. ඒ වාසිදායක තත්ත්වය ඉබේ ඇතිවූ දෙයක් නොවෙයි වැඩ කිරීම, ජනතා සේවය ඇතුළු කාර්ය භාරයන් රාශියක් ඉටුකර තිබෙනවා. ඒ නිසා ජනතාව ඉදිරියට ගිහින් නැවත බලය ඉල්ලා සිටීමට අපට කිසිදු සැකයක් හෝ චකිතයක් නැහැ. අද විපක්ෂය වුණත්, විසිරී බිඳී ගිය තත්ත්වයක ඉන්නේ. ඒ නිසා අපට ‍ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම පහසු ඉලක්කයක් බවට පත්ව තිබෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩු බලය යටතේ විශාල කාර්ය ප්‍රමාණයක් ඉටුකර තිබෙනවා.

මේ පළාත්වලට විශාල කාර්යයක් ඉටුකර තිබෙනවා. මේ තත්ත්වය තුළ අපට අපේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැහැ. ජනතාවට මේ ආණ්ඩුව පිළිබඳ, ජනාධිපතිතුමා පිළිබඳ විශාල විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසය නිසා ජනතාව දීර්ඝ කාලීනව එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්ව සිටිනවා. දකුණු පළාත් සභාව ගැන කිසිදු සැකයක් නෑ. විශාලම වැඩි ඡන්ද ප්‍රතිශතයකින් අපට ජයග්‍රහණය කිරීමට පුළුවන්කම තිබෙනවා. රටට දෙවැනි නිදහස ලබා දී, රට ඉදිරියට ගෙන යාමට ශක්තිය ලබා දුන්නේ මේ ආණ්ඩුව විසිනුයි. ඒ කළගුණය ජනතාවට තිබෙනවා.

* එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ හා නායකත්ව මණ්ඩලයක් පත්කිරීම පිළිබඳ ඔබේ මතය මොන වගේද?

මොන ප්‍රතිසංස්කරණය කළත්, මොන නායකත්ව මණ්ඩලය පත් කළත්, එක්සත් ජාතික පක්ෂයට ගොඩඒමක් නැහැ. ඔවුන්ට නිසි ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් නැහැ. මේ වගේ දේශපාලන පක්ෂයකට ඉදිරි අනාගතයක් ඇතැයි සිතීම පවා දුෂ්කරයි. මේ විදිහේ ගමනක් නැති දේශපාලන පක්ෂයකට පාක්ෂිකයෝ ආකර්ෂණය වීමක් නැහැ. දිනෙන් දින සිදුවෙන්නේ පාක්ෂිකයන් පක්ෂයෙන් ඉවත්වීම පමණයි. මේ තත්ත්වය වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට බැරි වුණා විතරක් නොවෙයි, ඔහු පත්කළ නායකත්ව මණ්ඩලයටත් මේ ගමන සාර්ථකව යාමට පුළුවන් වෙතැයි සිතන්න බැහැ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා