ඇතැම් විදේශ රටවලින් විවිධ චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකාවේ පිහිටීම සහ සුන්දරත්වය ලොව වෙනත් කිසිම රටක නැති නිසයි

ඇතැම් විදේශ රටවලින් විවිධ චෝදනා එල්ල වන්නේ

ශ්‍රී ලංකාවේ පිහිටීම සහ සුන්දරත්වය ලොව වෙනත් කිසිම රටක නැති නිසයි

වන්නි ආරක්ෂක සේනා ආඥාපති

මානව හිමිකම් ඇතුළුව විවිධ කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඇතැම් රටවල් චෝදනා නැඟීමට ප්‍රධාන හේතුව දශක තුනක කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද ගැටුම් සාර්ථකව අවසන් කිරීම නිසා නොව අපේ රටේ පිහිටීම සහ සුන්දරත්වයට සමාන කරන්නට ලෝකයේ වෙනත් රටක් නොමැති නිසා බව වන්නි ආරක්ෂක සේනා ආඥාපති, උතුරේ අවතැන්වූවන්ගේ නිසි බලධාරී සහ ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ අධිපති මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා පවසයි.

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලෝකයේ විවිධ රටවලට පහර දෙන අවස්ථාවන්වලදී සිවිල් වැසියන් විශාල වශයෙන් මියයන අතර එවැනි අවස්ථාවලදී මානව අයිතීන් සම්බන්ධයෙන් කිසිවෙකු කතා නොකරන බවද එහිදී මානව අයිතීන් උල්ලංඝනයන් සිදු නොවන්නේදැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

එක්තරා අවස්ථාවක තමාට රුවන්ඩා හමුදාපතිවරයා හමුවූ බව සිහිපත් කරන ඒ මහතා එරට ජාතීන් දෙකක් අතර පැවැති යුද්ධයකදී ලක්ෂ 10 ක් පමණ මියගිය බවද එහිදී මානව හිමිකම් සම්බන්ධයෙන් කිසිටෙවකු කතා නොකළ බවට තමා වෙත පැවසූ බවද සඳහන් කරයි.

මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ අඹේපුස්ස සිංහ රෙජමේන්තු මූලස්ථානයේදී පැවැති වීරක්‍රියා පදක්කම් ප්‍රදානෝත්සවය අමතමිනි. ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ රණවිරුවන් වෙත රණශූර පදක්කම් පිරිනැමීම මෙහිදී සිදුකෙරුණු අතර නිලධාරීන් 177 දෙනෙකු සහ සෙසු නිලයන් 1,592 දෙනෙකු ඇතුළුව 1,769 දෙනෙකු මෙහිදී රණශූර පදක්කම් ලබා ගත්හ.

නැඟෙනහිර සහ වන්නි මානුෂීය මෙහෙයුම් මෙන්ම ඉන් පෙර පැවැති සටන්වලදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී මාතෘභූමිය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ රණවිරුවන් මෙහිදී පදක්කම් ලබාගැනීමට සමත්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා සඳහන් කළේ අපේ රටේ මානව හිමිකම් උල්ලංඝනය වූ බවට ඇතැමුන් චෝදනා නඟන බවත් 12,000 කට පමණ ජීව දානය ලබාදෙන්නට ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත් බවත්ය.

1983 වර්ෂයේ සිටි අපේ හමුදාව සහ ඊට වසර 20 කට පසු අපේ හමුදාව සංසන්දනය කරන විට විශාල වෙනසක් සිදුව තිබෙන බවද යුද ශක්තිය සහ මානුෂීය ගුණය අතින් විශාල වර්ධනයක් සිදුව තිබෙන බවද සඳහන් කළ මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මහතා ඔවුන් සෑම අවස්ථාවකදීම තම ජීවිතය පූජාකර හෝ සිවිල් වැසියන් බේරා ගැනීමට කටයුතු කළ බව සිහිපත් කළේය.

කිලෝ ග්රෑම් 2,000 ක් බව බෝම්බයක් හෙළා රටක් විනාශ කරන්නට තරම් ශක්තියක් ඇමෙරිකාවට තිබුණද මානව හිතවාදී ගුණය ඔවුන් සතුව නැතැයි පෙන්වාදුන් ඒ මහතා අපේ විදේශ ප්‍රතිපත්තියද ලෝකයේ සෙසු රටවලට සාපේක්ෂව ඉහළින්ම තිබෙන බව කීවේය.

මේ අතර ඒ මහතා සිහිපත් කළේ 1983 වසරේදී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ආරම්භ කළ යුද්ධය 2009 වසරේදී ශ්‍රී ලංකා රජයේ හමුදාව විසින් අවසන් කළ බවයි. මියගිය හමුදා රණවිරුවන්ගේ දූදරුවන් වෙත මුදල් ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුවිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා