හෙළ දෙරණම ආලෝකමත් වූ උඳුවප් පොහොය

පෝදා ධර්මානුශාසනාව

හෙළ දෙරණම ආලෝකමත් වූ උඳුවප් පොහොය

ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයට අමරණීය නාමයක් එක් කොට නිවන් පුරයට පිවිසෙන විමුක්ති මාර්ගය එළිපෙහෙළි කරමින් ලංකා මෙහෙණි සසුන පිහිටුවා වදාළ ශ්‍රී සංඝමිත්තා මහා රහත් උත්තමාවගේ ශ්‍රී නාමයට සිංහල බෞද්ධයන්ගේත් විශේෂයෙන් හෙළ කාන්තාව කළගුණ දැක්වීම පරමෝදාර ශ්‍රේෂ්ඨ යුතුකමකි.

නුගේතැන්නේ මංගල ධර්ම කීර්ති ශ්‍රී සෝභිත රතනජෝති පඤ්ඤානන්ධාභිධාන නායක ස්වාමින් වහන්සේ.

මිහින්තලා කන්දෙන් පැන නැගි ලංකාවේ දස අතට විහිදී ගලා ගිය ශාන්තිනායක අමා මෑණියන් වහන්සේගේ නිර්මල ධර්ම ගංගාව නිසා සියලුම හෙළයෝ බෞද්ධයන් බවට පත්වූහ.

දහම් අසා මාර්ගඵලයන්ට පැමිණ සිටි අනුලා බිසව ප්‍රධාන සිංහල කාන්තාවන් මිහිඳු මාහිමියන් වහන්සේගෙන් කළ පැවිදි බව ලැබීමේ ආයාචනය පරිදි, උන්වහන්සේගේ අවවාද අනුව දෙවන පෑතිස් රජු විසින් දඹදිව පැළලුප් නුවර අශෝක චක්‍රවර්තීන් වෙත අරිට්ඨ කුමරු ප්‍රධාන දූත පිරිසක් පිටත්කොට හරින ලදී.

සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂූණි සංඝයා මෙහි ගෙන්වා ගැනීම සඳහා ධර්මාශෝක රජුගේ කැමැත්තක් නොතිබුණ ද සඟමිත් තෙරණියගේ බලවත් ඉල්ලීම මත ධර්මාශෝක රජු සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණි සංඝයා පිරිවර සහිතව එවීමට සූදානම් කරවීය.

ධර්මාශෝක රජු සඟමිත් තෙරණිය ඇතුළු භික්ෂුණි සංඝයාගේ ලංකා ගමන සිදුකිරීමට ප්‍රථම රජ මාලිගයේ මහා සංඝයා විෂයෙහි දන් පිරිනමා අවසන මොග්ගලිපුත්ත මාහිමියන්ගෙන් විමසා සිටියේ මහා බෝධි ශාඛාව ලංකාවට වැඩම කළ යුතුද යන්න. මහා පෙරහැරින් රාජකීය සම්භාවනීය පිරිසද සංඝමිත්තාවන් ඇතුළු මෙහෙණින් වහන්සේලාද නැවට නන්වා පූජා උපහාර දක්වා පිටත් කර එවූහ. බෝධින් වහන්සේ සහිත පිරිස ලංකාවේ දඹකොළපටුනට ළඟාවිය.

ඉන්පසු බෝධිය වැඩමවාගෙන යන අතර “පාචීන තිස්ස විහාරයට” වැඩමවා ඉන් අනතුරුව “තිවක්ක බ්‍රාහ්මණ” ගමටද ගොස් (වර්තමාන තන්තිරිමලය) එහි නතර වී උපහාර දක්වා අනුරාධපුර ශුද්ධ නුවරට වැඩමවා මහ මෙව්නාවේ අද අපි දකින ස්ථානයේ නොයෙක් උපහාර විධි ඉටුකර බෝධි රෝපණය කළ බව බෝධි වංශාදී වංශ කථාවල බොහෝ කරුණු දක්වා ඇත.

අනුරාධපුර අපරාජිත ශුද්ධ භූමියේ වැඩ සිටිනා උතුම් වූ ජයසිරිමා බෝ හිමි ශාඛාව ලෝකයේ ඇති ඓතිහාසික පැරණිතම වෘක්ෂ රාජයාණන් වහන්සේය. අනුරාධපුර මහමෙව්නාවේ විරාජමානව වැඩ ඉන්නේ ඒ උතුම් වූ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි.

මේ උතුම් උඳුවප් පෝය අපට වැදගත් වන්නේ එවන් ඓතිහාසික වටිනාකමකින් යුත් සිද්ධිදාමයකට නෑකම් කියන ඒ ප්‍රෞඪ ඉතිහාසයට යළිත් අපව බැඳ තබන පිංවන්ත සංස්කෘතික හා ශාසනිකහූය යළිත් ලංකා බොදු හා නො බොදු ජනයාගේ කර බඳින්නට හොඳම දවස හා කාලය ද මේ වන නිසයි.

ශ්‍රී මහා බෝධියද කැටුව වැඩමවා වදාළ සඟමිත් මහා රහත් උත්තමාවියගේ ලංකා ගමනයෙන් අපේක්ෂිත බලාපොරොත්තුව යථාර්ථයක් කරන්නට සැමට දිරිය හා නුවණ ලැබේවායි මේ උතුම් වූ උඳුවප් පුරපසළොස්වක පොහෝදා ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ ආශිර්වාදය පෙරදැරිව සුබාසිරි පතමි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා