ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ සිදු කැර නෑ

ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ සිදු කැර නෑ

ඇමැති චම්පික අකාෂිට පැහැදිලි කරයි

ශ්‍රී ලාංකීය හමුදාව ලබාගත් විජයග්‍රහණවලදී කිසිඳු ආකාරයක යුධ අපරාධයක් සිදු වී නොමැති බව තාක්ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතාට අවධාරණය කරයි. ඇමැති පාඨලී චම්පික රණවක මහතා මේ අදහස් පළ ‍ෙකළේ පසුගියදා (13)මෙරටට පැමිණි ජපානයේ විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා හමුවෙමිණි.

ඇමැතිවරයාගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්විණ. එහිදී ඇමැතිවරයා බටහිර රටවල් විසින් මෙරට ආරක්ෂක හමුදාවලට යොමු කොට ඇති යුධ අපරාධ චෝදනා වල සැබෑ තත්ත්වය පිළිබඳව කරුණු යසුෂි අකාෂි මහතාට පැහැදිළි කරන ලදී.

2009 වර්ෂයේ යුද්ධයේ අවසන් කාල සීමාවේදී අහිංසක දෙමළ ජනයා 40,000ක් 60,000 ක් හා 146,000 ක් ඝාතනය වී තිබේය යන්න අසත්‍යයක් බව පවසමින් අැමැතිවරයා විසින් යසුෂි අකාෂි මහතාට 2011 වසරේදී ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් දෙමළ රාජ්‍ය නිළධාරීන් යොදවා උතුරු පළාතේ කරන ලද ජන සංඝණනයේ වාර්තාව ලබා දෙමින් කරුණු පැහැදිළි කරන ලදී.

එම වාර්තාවට අනුව උතුරු පළාතේ 2009 වර්ෂයේදී ස්වාභාවික නොවන හේතු වලින් මිය ගිය සංඛ්‍යාව 7974 ක් වන අතර මෙම පිරිසට එල්.ටී.ටී.ඊ සාමාජිකයන් සහ සියදිවි නසාගත් හා වෙනත් හේතු වලින් මියගිය පිරිසද ඇතුළත්ය.

2009 වසර ඇතුළත මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිරිස 5000 ක් පමණ වන අතර සියදිවි නසා ගැනීම් ඇතුළු අනෙකුත් හේතූන් මත මිය ගිය පිරිස 3000 කට ආසන්න වේ. 300,000 ක් පමණ වූ ජනයා එල්.ටී.ටී.ඊ ය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි අතර ඔවුන් මුදා ගැනීම සඳහා කරන ලද සටනේදී එල්.ටී.ටී.ඊ ය විසින් ජනතාව මිනිස් පළිහක් ලෙස භාවිතා කොට තිබූ බවද කොටසක් ඝාතනය කළ බවද මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දූන්නේය.

ශ්‍රී ලංකා හමුදාවට දෙමළ ජනයා ඝාතනය කිරීමේ අවශ්‍යතාවක් තිබුණේ නම් ආරක්ෂක හමුදා වෙත භාර වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 11,000ක් පමණ පිරිස ඝාතනය කළ හැකිව තිබුණි. එහෙත් එවැනි දෙයක් නොකිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකා හමුදාව ඉතාම මානුෂීය ලෙස යුධ ජයග්‍රහණ වලදී ක්‍රියාකර ඇති බවයි. කිසිම පදනමක් නොමැති අසත්‍ය සංඛ්‍යා ලේඛන මවා පාමින් මේ රටට විරුද්ධව යුධ අපරාධ චෝදනා එල්ල කිරීම බලවත් අසාධාරණයක් බවද ඇමතිවරයා සඳහන් කළේය.

උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීමේදී මතුව ඇති ගැටළුව ගැනද ඇමතිවරයා යසුෂි අකාෂි මහතාට කරුණු පැහැදිළි කරන ලදී. 1971 දී 20,000 ක් සිංහල ජනතාව උතුරේ ජීවත් වූ නමුත් අද වන විට එම ප්‍රමාණය 800ක් පමණ වී තිබේ. එල්.ටී.ටී.ඊ ය විසින් උතුරෙන් පළවා හරිනු ලැබූ සිංහල ජනතාව ස්වාභාවික වර්ධනයත් සමඟ වර්තමානය වනවිට 46,000ක් පමණ වී තිබේ.

නමුත් මෙම පිරිසට උතුරේ පදිංචි වීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැත. සමස්ත උතුරු හා නැගෙනහිර පළාත් වළින් එල්.ටී.ටී.ඊ ය විසින් පළවා හරිනු ලැබූ සිංහල ජනතාව 150,000කට අධිකය. නමුත් කොළඹ 250,000කට අධික දෙමළ ජනතාවක් වාසය කරන අතර යුධ කාලසීමාව තුළදී මෙම දෙමළ ජනතාවට කිසිඳු හානියක් සිදු නොවීය. මේ තුළින් රටේ ජනවාර්ගික ගැටළුවක් ඇති වී තිඛෙන්නේ කුමන ප්‍රදේශවලද යන්න පැහැදිළි වේ.

අද වන විට උතුරේ ජනතාවට විශාල වශයෙන් සහන ලබාදී තිබේ. 2010 දී දෙමළ සන්ධානයට යාපනයේ ලැබුණු ඡන්ද ප්‍රමාණය 37% කි. නමුත් අද එය 80% දක්වා වර්ධනය වී තිබේ. මේ තත්ත්වයට හේතු වූයේ ඉන්දියාවේ තමිල්ණාඩුවත්, බටහිර රටවල් විසිනුත් ගෙනගිය ජාතිවාදී ව්‍යාපාරය නිසා දෙමළ ජනතාව ජාතිවාදයෙන් උන්මාදවීමෙනි. ශ්‍රී ලංකාවේ සහජීවනයට බලපා තිඛෙන ලොකුම ගැටළුව වී ඇත්තේ මෙම රටවල් ගෙන යන ජාතිවාදී ව්‍යාපාරයන්ය.

පළාත් සභා ක්‍රමය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස මෙරටට ඉන්දියන් හමුදාව විසින් පටවන ලද දෙයකි. අපි එයට සම්පූර්ණයෙන් විරුද්ධයි. මෙම බලතල අනිසි ලෙස භාවිතා කරමින් උතුරේ මහ ඇමතිවරයා ඇතුළු පිරිස කටයුතු කිරීම අපි නින්දිත ක්‍රියාවක් ලෙස හෙළා දකිනවා. එල්.ටී.ටී.ඊ නායකයන්ට බටහිර රටවල රැකවරණය ලබාදෙමින් ත්‍රස්තවාදය වැපිරීමට උදවු උපකාර කිරීමට මොවුන් කටයුතු කරමින් සිටී. මේ තත්ත්වයෙන් රට බේරා ගැනීමට අපි නොනැවතී කටයුතු කරනවා.

ජපානය වැනි මධ්‍යස්ථ රටක ජීවත්වන යසුෂි අකාෂි මහතා යුද්ධය හා සාමය පිළිබඳ බොහෝ අත්දැකීම් ඇති අයෙක්. එතුමා ශ්‍රී ලංකාවේ තත්ත්වයත් හොදින් අධ්‍යයනය කර තිබෙනවා. මෙම සත්‍ය තත්ත්වය එතුමා විසින් ලෝකයට ප්‍රකාශ කිරීම ඉතාම වැදගත්වේ. අන්තර්ජාතික බලවතුන්ගේ පොරපිටියක ප්‍රතිඵලයක් නොවී සත්‍ය තොරතුරු හා අපේ අයිතීන් ලෝකයට ප්‍රකාශ කළ යුතුයි බවද මෙහිදී ඇමතිවරයා පැවසීය.

සාකච්ඡාව අවසානයේ යසුෂි අකාෂි මහතා ඇමති චම්පික රණවක මහතාගේ දේශපාලනික වැඩපිළිවෙළ අගය කළ අතර තමා ප්‍රිය කරන ශ්‍රී ලාංකීය දේශපාලඥයන් අතර චම්පික රණවක මහතා විශේෂිත වන බවද යසුෂි අකාෂි මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා