සිංහල-දමිළ හා මුස්ලිම් කලාකරුවෝ 289ක් කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලබති

සිංහල-දමිළ හා මුස්ලිම් කලාකරුවෝ 289ක්
කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලබති

ශ්‍රී ලාංකීය කලා කෙත පෝෂණය කර අස්වද්දා වයස අවුරුදු 60 ඉක්මවූ සිංහල, දමිළ සහ මුස්ලිම් නිර්මාණශීල්පීන් 289 දෙනෙකු ඊයේ (15) කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේදී කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.

මෙවර අයවැයෙන් රංගශාලා ගණනාවක් ඉදිකිරීම සඳහා මුදල් වෙන් කළ බවත් බොහෝ කලාකරුවන් තම රංගන දිවියෙහි "අ" යන්න කියූ ස්ථානයවූ ලුම්බිණි රඟහල නවීකරණය සඳහා මුදල් ලබාදී ඇති බවත් සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ ‍ෙකළේ ය.

සංස්කෘතික හා කලා කටයුතු දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ 29 වැනි කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී අමාත්‍යවරයා‍ මේ බව පැවසීය.

නිවාඩු නිකේතන 05 ක් ගොඩනැඟීම සඳහාද මෙවර අයවැයෙන් ප්‍රතිපාදන ලබා දී ඇති බවත් හෙතෙම කීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලාකරුවෙක් හැටියට කලාකරුවන් වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ. කලාව කාටත් පොදුයි. ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන මෙම රාජ්‍ය සම්මානය මඟින් ජාතීන් අතර සමගිය මිත්‍රත්වය පිළිබිඹුවන බවත් හෙතෙම සඳහන‍ෛකළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.අෂ්වර් මහතා

රටේ සියලු ජාතීන් නියෝජනය වන පරිදි මෙම සම්මාන පිරිනැමීම ලංකා ඉතිහාසයේ සංධිස්ථානයකි.රටක් සංවර්ධනය කෙරෙන අතරතුර මනසේ සංවර්ධනයත් අවශ්‍යයි.ඒ නිසා මිනිසෙකු කලාවෙන් පෝෂණය විය යුතු බවත් අෂ්වර් මහතා මෙහිදී ප්‍රකාශ ‍ෙකළේය.

සංස්කෘතික හා කලා කටයුතු ලේකම් වසන්ත ඒකනායක ,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විජිත් කණුගල ,මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ එම්.එච්.එම්.සමීල්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ශාන්ති නාවුකරසන් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. කලාභූෂණ සම්මානලාභීන්ට සම්මාන , සහතික පත් හා මුදල් ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා