වත්තල රාජ්‍ය බැංකුවක නිලධාරිනියක් උකස් කළ රන්බඩුවලට වංචනිකව වරින් වර මුදල් අරන්

වත්තල රාජ්‍ය බැංකුවක නිලධාරිනියක් උකස් කළ
රන්බඩුවලට වංචනිකව වරින් වර මුදල් අරන්

රු. එක්කෝටි අසූ ලක්ෂයක් අරන් රටිනුත් පැන ගිහින්

වත්තල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කළ නිලධාරිනියක් වරින්වර එහි රන්බඩුවලට වංචාසහගත ලෙස මුදල් ලබාගෙන රුපියල් එක්කෝටි අසූලක්ෂයක පමණ මුදලක් වංචා කර මෙරටින් පලා ගොස් තිබේ.

මේ නිලධාරිනිය එම මුදල් වංචාව සිදුකර ඇත්තේ බැංකුවට රන්භාණ්ඩ උකස් තැබීමට එන පුද්ගලයන්ගේ රන් බඩුවලට වෙනමම තක්සේරුවක් කර ඒ හරහා ව්‍යාජ හැදුනුම්පත් අංක සහ ලිපිනයන් යොදා බැංකුවෙන්ම ඒ සඳහා මුදල් ලබා ගැනීමෙන් බව පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ.

එම නිලධාරිනිය මීට වසර තුනකට පමණ පෙර බැංකු සේවයට පැමිණි අවුරුදු තිහක පමණ වයසැති කාන්තාවක් වන අතර ඇයගේ වංචාවට බැංකු කළමණාකරුගේ අස්සන් සහ ඔහුගේ අවධානය රන් බඩු විගණනය සඳහා යොමු නොවන පරිදි කළමනාකරු රවටා ඉතා සූක්ෂම පරිදි එම වංචාව සිදුකර තිබේ.

නිලධාරිනියගේම ඥාතියෙකු මෙම වංචාව දැන ගෙන බැංකුව වෙත පෙත්සමක් එවීමෙන් පසු කොළඹ එම රාජ්‍ය බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් නිලධාරීන් ගොස් පරීක්ෂණයක් පවත්වා ඇතත් එම පරීක්ෂණයටද එම වංචාව හසුවී නොමැත.

පසුව බැංකුව තුළින් එක්තරා අවස්ථාවක රන්බඩුවලට වැඩි වටිනාකමක් දී ඇති බව අනාවරණය වීමට පටන් ගැනීමත් සමඟ ඇය හොර රහසේම මෙරටින් පලා ගොස් ඇත්තේ රහස් පොලිසිය ඒ සම්බන්ධව පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම්ව සිටියදී බව බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා