තරග විභාගයේ ප්‍රශ්න පත්‍රය විකුණලා

රණබිම විදුහලේ 6 ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම:

තරග විභාගයේ ප්‍රශ්න පත්‍රය විකුණලා

විභාගය කල් දමයි

ගන්නෝරුව රණබිම රාජකීය විදුහලේ හයවන ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීම සඳහා පවත්වන තරග විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවී රුපියල් 20,000ක මුදලකට එම ප්‍රශ්න පත්‍ර පිටත අළෙවිවීම නිසා ඊයේ (15) පැවැත්වීමට නියමිතව තිබූ විභාගය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වන මෙම විභාගයේ ගණිත හා බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර පිටව තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

මෙම තරඟ විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් පිටව ඇති බවට ලද තොරතුරු මත පොලිසිය උපාය දූතයකු යොදවා අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි ටේලර් සාප්පුවකින් රුපියල් 20,000/=ක මුදලකට මිලදී ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. අදාළ ටේලර් සාප්පුවේ තිබී ප්‍රශ්න පත්‍ර කට්ටල සොයාගත් බව පොලීසිය පවසයි.

රණබිම රාජකීය විදුහලට ළමුන් ඇතුළත් කිරීම සඳහා පවත්වන විභාගයට අදාළ පසුගිය වසරේ ප්‍රශ්න පත්‍රද පිටවී ඇති බවට බරපතළ සැකයක් මතුවන බව මව්පියන් පවසති. මේ සම්බන්ධව කළ විමසීමකදී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තිලක් ඒකනායක මහතා පැවසුවේ අදාළ සිද්ධිය පිළිබඳ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ (විභාග) මූලිකත්වයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බවයි.

මෙම ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමේ සිද්ධිය හේතුවෙන් රණබිම රාජකීය විදුහලට ළමුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මව්පියන්ට දැඩි අසාධාරණයක් සිදුවන බැවින් විභාගය කල්දැමූ බවක් කඩිනමින් නව ප්‍රශ්න පත්‍රයක් සකස්කැර විභාගය පැවැත්වීමට අවශ්‍ය උපදෙස් බලධාරීන්ට ලබාදුන් බවත් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා කීය. පේරාදෙණිය පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.බී. ගන්නෑව මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා