ඇමැතිවරුන් පරදවා මන්ත්‍රීවරු ජය ලබති

මැති ඇමැතිවරුන්ගේ හයේ හතරේ පහරින් ටොරින්ටන් පිටිය රත්වෙයි

ඇමැතිවරුන් පරදවා මන්ත්‍රීවරු ජය ලබති

පැයක් කඩුල්ලේ සිටි ඇමැති ඩලස්ගෙන් පහරක්

ඩලස් පැයක් කඩුල්ලේ නවක මන්ත්‍රී නලීන් තරගයේ වීරයා

නාමල්ගෙන් ඕවරයක දී කඩුලු තුනක්

පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන වාද විවාදවලදී එල්ලවන බවුන්සර්වලට හයේ හතරේ වාග් ප්‍රහාර දෙන්නාක් මෙන් නොව සැබවින්ම වේගවත්වත් පිති ප්‍රහාරයන් දුටු ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් අතර ක්‍රිකට් තරගයෙන් ඇමැතිවරු පරදා මන්ත්‍රීවරු කඩුලු 4ක ජයක් අත්කර ගත්හ.

කතානායක කුසලානය සඳහා කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගයේදී දෙපිලේම පිතිකරුවන් හයේ පහර 37ක් හා හතරේ පහර 14ක් එල්ල කිරීමට සමත්වීම මේ තරගයේ ජීවය වැඩි කිරීමට හේතු විය. මුලින් පන්දුවට පහරදුන් ඇමැතිවරුන්ගේ පිල ඕවර් 20කදී කඩුලු 7කට ලකුණු 198ක් ලැබූ අතර මන්ත්‍රීවරුන්ගේ පිල කඩුලු 6ක් දැවී ලකුණු 204ක් ලබා ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැවැන්ත හයේ පහරක් එල්ල කොට ලකුණු තත්ත්වය සමකළ අතර ඊළඟ ඕවරයේදී නියෝජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා එවූ පන්දුවකට පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්නායක මහතා එල්ල කළ දැවැන්ත හයේ පහරකින් ජයග්‍රහණය තහවුරු විය.

ඇමැතිවරුන්ගේ පිල ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මෙහෙයවූ අතර මන්ත්‍රීවරුන්ගේ පිල රවී කරුණානායක මහතා විසින් මෙහෙය විය.

ඇමැතිවරුන් කඩුල්ලක් දවාගැනීම සමරමින්...

මේ තරගයේදී ආරම්භක පිතිකරු ඩලස් අලහප්පෙරුම මහතා මිනිත්තු 62ක කාලයක් පන්දුවට පහරදෙමින් එක් අන්තයක් ආරක්ෂා කොට පන්දු 40කදී ලකුණු 21ක් ලබාගත් අතර විමල් වීරවංශ මහතා අනෙක් අන්තයේ පන්දු 14කදී ලකුණු 24ක් ලබා ගත්තේය.

තරගයේ දක්ෂතම පිතිකරු සම්මානය දිනා ගත් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරණායක මහතා හයේ පහර 9ක් හා හතරේ පහර 2ක් සමග පන්දු 28කදී ලකුණු 73ක් ලබා ගැනීම කැපී පෙනුණි. ඇමැතිවරුන්ගේ පිල වෙනුවෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා ලකුණු 34ක් හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලකුණු 32ක් ලබා ගත්හ.

කතානායක චමල් රාජපක්ෂ මහතා‍ සමග විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රිකට් තරගය නරඹමින් සිටි අයුරු.

හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත් නාමල් රාජපක්ෂ මහතා ඕවරයකදී කඩුලු ත්‍රිත්වයක් ලබා දස්කම් දැක්වීය. දක්ෂ පන්දු රකින්නාට හිමි සම්මානය දිනාගත් හරීන් ප්‍රනාන්දු මහතා උඩපන්දු දෙකක් හා තාරානාත් බස්නායක මහතා උඩ පන්දු දෙකක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මන්ත්‍රීවරුන්ගේ පිලට පහසු ජයක් තරගයේ වීරයා සම්මානය දිනූ නවක මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ලබාදීමට මුල්විය. ඔහු හයේ පහර 10ක් හා හතරේ පහර 2ක් සමග පන්දු 49කදී ලකුණු 89ක් ලබා ගත්තේය.

හරීන් ප්‍රනාන්දු මහතා හයේ 3ක් හා හතරේ 4ක් සමග ලකුණු 48ක් ලැබූ අතර අකිල විරාජ් හා තිලංග සුමතිපාල යන මහත්වරු ලකුණු 15 බැගින් ලබා ගත්හ. තරගයට වේගවත් අවසානයක් ලබාදුන් නාමල් රාජපක්ෂ මහතා හයේ 2ක් සමග පන්දු 5කදී නොදැවී ලකුණු 18ක් ලබා ගත්තේය.

හොඳම පන්දු යවන්නා නාමල් රාජපක්ෂ, හොඳම පිතිකරු ඉන්දික බණ්ඩාරණායක, හොඳම පන්දු රකින්නා හරීන් ප්‍රනාන්දු හා තරගයේ වීරයා නලීන් බණ්ඩාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්මාන ලබාගත් අයුරු සහ රවී කරුණානායක මහතාට කතානායක කුසලානයත්, මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අනුශූරතා කුසලානයත් කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රදානය කළ අයුරු.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා