බින් ලාඩන්ගෙන් පසු අල්කයිඩා නව පණක් ලබලා

බින් ලාඩන්ගෙන් පසු අල්කයිඩා නව පණක් ලබලා

යුරෝපයට සහ අමෙරිකාවට යලිත් තර්ජනයක්

අමෙරිකා විශේෂඥයන්ගෙන් අනතුරු

මීට වසර දෙකහමාරකට පමණ පෙර අමෙරිකන් සීල් භටයන් විසින් පාකිස්තානයේ ඇබොටාබාද් නගරයේ දී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් මරා දැම්මත් අල්කයිඩාව දැන් අන් කිසිදාටත් වඩා ශක්තිමත් බව අමෙරිකන් විශේෂඥයෝ මේ සතියේ ප්‍රකාශ කර ඇත. අරාබි වසන්තය මේ කෙරේ දැඩි බලපැමක් කර ඇති බවට මත ප්‍රකාශ කර තිබේ.

සිරියන් සිවිල් යුද්ධයට සම්බන්ධ වී සිටින ජිහාඩ් සටන්කාමීන් අල්කයිඩාවට වැල නොකැඩී බැඳීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බව වැඩිදුරටත් සඳහන් කර තිබේ. තවද සෝමාලියාව, යේමනය, ලිබියාව, බටහිර අප්‍රිකාවේ සටන් වැද සිටින ත්‍රස්තවාදී කල්ලිවල සාමාජිකයන් ද අල්කයිඩාවට සම්බන්ධවෙමින් සිටී.

මේ සමඟ යුරෝපයට සහ අමෙරිකාවට යලිත් වරක් තර්ජනයක් එල්ල විය හැකි බවට විශ්වාස කෙරේ. නව පණක් ලැබූ අල්කයිඩාව ලොව පුරා සාමාජිකයන් බඳවා ගැනීමේ කටයුතු යුහුසුළුව සිදු කරන බව වාර්තා වේ.

වොෂින්ටනයේ දී ත්‍රස්තවාදය පිළිබඳ වාර්ෂික සමුළුවක් අමතමින් විශ්‍රාම ලත් අමෙරිකන් ජෙනරාල් ජේම්ස් මැටිස් පවසා ඇත්තේ ඔවුන් සමඟ ගනුදෙනු සිදු කිරීමේදී ක්‍රමෝපායික ලෙස කටයුතු කිරීම අතිශය වැදගත් බවයි. මුම්බායි ප්‍රහාරය ආකාරයේ ප්‍රහාරයක් යුරෝපයට එල්ල කිරීමට තරම් මොවුන් යලිත් ශක්තිමත් වී ඇතැයි ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බෲස් හොෆ්මන් පවසයි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා