මුද්‍රණය සඳහා

 
වහාබිවාදයට උඩගෙඩි දෙන මුස්ලිම් නායකයන්ගේ දෙබිඩි පිළිවෙත

වහාබිවාදයට උඩගෙඩි දෙන මුස්ලිම් නායකයන්ගේ දෙබිඩි පිළිවෙත

වර්තමානය වනවිට ලොවපුරා මුස්ලිම් රටවලත් සෙසු රටවලත් ජීවත්වන මුස්ලිම්වරුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් තිබෙන වහාබිවාදය බටහිර රටවල මෙන්ම ආසියාවේ, විශේෂයෙන් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ මතහේදයට තුඩු දුන්නකි. වහාබිවාදය යනු ජාත්‍යන්තර මුස්ලිම් ත්‍රස්තවාදී ව්‍යාපාරයක කොටසක් බවට පැතිරෙන විවිධ මතිමතාන්තරවලද නිමක් නැත. එබැවින් වහාබිවාදයේ පසුබිම දැනගැනීම වටී.

දහඅටවැනි ශතවර්ෂයේ මැද භාගයේ සෞදි අරාබියේ ආරම්භ වූ වහාබිවාදය ප්‍රතිසංස්කරණය කරනු ලැබු එක්තරා සුන්නි මුස්ලම් ව්‍යාපාරයකි. එහි නිර්මාතෘ වන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් අල් වහාබ් නමැති ඉස්ලාමීය විද්වතෙකි. 17වැනි සියවසේ සෞදි රාජ වංශය හා සෞදි අරාබි රාජ්‍යය ගොඩනැගූ මුහම්මද් බින් සෞද් සමග එක්වෙමින් ආගමික බලය අතට ගෙන සෞදි අරාබියේ ‘උලමා‘ සභාව පිහිටුවීමට පුරෝගාමීව කටයුතු කළේ ඔහුය.

දැඩි ආගමික ප්‍රතිපත්තියක් අනුගමනය කළ අල් වහාබ් සෞදි අරාබියේ ආගමික පාලනය සියතට ගත්තේය. පසුව ‘මුවාහිදුන්’ හෙවත් අද්වෛතවාදීන් (සත්‍යය එකකි යන වේදාන්ත වාදය අනුගමනය කරන්නෝ - යුනිටේරියන්ස් ) හා  මුහම්මද් නබිනායකතුමාණන්ගේ අනුගාමිකයන් වන සහබාවරුන්ගෙන් පැවැත එන ආගමික සංකල්ප අනුව ජීවත්වන සලාෆිවරු   වහාබිවාදය අනුගමනය කිරීමට පෙලඹූහ. මේ වහාබිවරු ඉස්ලාමීය නවීකරණය ප්‍රතික්ෂේප කරන අතරම මුහම්මද් නබිනායකතුමාණන්ගේ යුගය යළි ස්ථාපිත කළයුතු බවට විශ්වාස කරන්නෝ වෙති.

සැමියා, පියා, සොයුරා හා පුතා හැරුණුවිට සෙසු පිරිමින්ගෙන් කාන්තාව වෙන්කොට තැබිය යුතු බව වහාබිවරුන්ගේ අදහසය. එහෙත් ඔවුන්ගේ ජීවන රටාව අතිශයින්ම කප්පාදුවට ලක්වූ එකකි. එහි කාන්තාවන්ට සම තැන නැත.  ඒ අනුව ඔවූහූ අනුගමනය කරනු ලබන්නේ පිරිමින්ට මෙන්ම කාන්තාවටත්, මුස්ලිම්වරුන්ට මෙන්ම සෙසු ආගමික ජනකොටස්වලටත් එක හා සමානව සැලකූ මුහම්මද් නබිනායකතුමාණන්ගේ දීප්තිමත් යුගය නොව ඊට පෙර පැවැති අඳුරු අරාබි යුගයේ ප්‍රතිපත්ති බැව් පෙනෙන්නට තිබේ.

වහාබිවාදය ව්‍යාප්ත කිරීමට පුරෝගාමීව කටයුතු කළ ‘මුවාහිදුන්’ හෙවත් අද්වෛතවාදීන් ක්‍රිස්තු වර්ෂ 6වැනි සියවසේ එකල අරාබිය පාලනය කළ ‘උමයියාද්’ රජ වංශයට අයත් ‘මුවාවියා’ රජුගෙන් පැවැත එන්නෝ වෙති.  මුහම්මද් නබිනායකතුමාණන්ගේ මුනුපුරන් වන අබුතාලිබ් හුසේන් අලි හා අබුතාලිබ් හසන් අලි ජීවත්වූයේ ද මුවාවියා රජුගේ පාලන කාලයේදීය.

අධර්මිෂ්ඨ පාලකයකු වූ මුවාවියා රජුට අවනත නොවූයෙන් හුසේන් අලිතුමා රාජ උදහසට ලක්විය. උමයියාද් රාජ වංශයේ ඔටුන්න හිමි කුමාරයා වන මුවාවියා රජුගේ පුත් අබු සුෆියාන් ඇතුළු හමුදා සෙබළුන් හුසේන් අලිතුමා ඝාතනය කළහ. එතුමාගේ ඝාතනයට එරෙහිව සුන්නි මුස්ලිම්වරු මෙන්ම ෂියා මුස්ලිම්වරු ද එක ලෙස නැගී සිටියහ.

ෂියා මුස්ලිම්වරු අතර හුසේන් අලිතුමාට තිබුණේ  ඉමහත් පිළිගැනීමකි. ඊට හේතු වූයේ ෂියා මුස්ලිම්වරුන්ගේ පළමු ඉමාම්වරයා එතුමාගේ පියාණන් වීමය. පසුකලෙක උමයියාද් රජ වංශයේ බිඳ වැටීමට හුසේන් අලිතුමාගේ ඝාතනය දැඩි ලෙස බලපෑවේය.

අල්කයිඩා ඇතුළු වර්තමාන ලෝකයේ විවිධ මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන විසින් අනුගමනය කරනු ලබන්නේ ද මේ වහාබිවාදයයි. වහාබිවාදීන් ලෙස නොව සලාෆිවරුන් ලෙස තමන් හඳුන්වා දෙන බොහෝ වහාබිවාදීහූ සුන්නි මුස්ලිම් ජාතිකයන් හා එක්ව ජීවත්වූව ද ඔවුන්ගේ ජීවන රටාවේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් තිබේ. ඒ අතර අවධානය යොමුවිය යුතු කරුණ වන්නේ වහාබිවාදීන්ට සෙසු ආගමික ජනයා සමග එක්ව සාමුහිකව ජීවත්වීමට නොහැකිවීමය.

ඔවුන්ගේ ජීවන රටාව අතිශයින්ම ආගමික ස්වරූපයක් ගන්නා අතර ඊට ඇති දැඩි නැඹුරුව හේතුවෙන් සෙසු ලෝකයෙන් හුදෙකලාව ජීවත්වීමට ඔවුනට සිදුවී ඇත. එදිනෙදා ජීවිතයේ දී සෙසු ජනතාව ලබන බොහෝ අත්දැකීම් වහාබිවාදීන්ට ලැබෙන්නේ නැත. බඩවියත රැක ගන්නා ජීවනෝපාය සඳහා වැයකරන කාලය හැරුණුවිට ඔවුන්ගේ

දෛනික ජීවිතයේ ඉතිරි කාලය ගෙවී යන්නේ ධර්මයට කැපකිරීමෙනි.

වත්මන් ලෝකයේ මුස්ලිම් රටවල් වහාබිවාදයට ලක් කිරීමේ අරමුණින් යුතුව කටයුතු කරන සෞදි අරාබියේ රාජකීය පවුල අද වනවිට ඒ සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් සිටියි. ඇත්ත වශයෙන්ම වහාබිවාදයේ ප්‍රචාරක කටයුතු භාරව ක්‍රියා කරන්නෙ සෞදි අරාබියයි.

එහෙත් බටහිර ලෝකයේ වහාබිවාදය පැතිරවීමට මූලිකත්වය ගෙන ඇත්තේ අමෙරිකාව, ඊශ්‍රාලය හා එංගලන්තය වැනි මුස්ලිම් විරෝධි රටවල් බව අන්තර්ජාලය ඔස්සේ කරුණු සොයා බැලීමේ දී පෙනී යයි. එය කාගෙත් විමතියට කරුණකි. එහෙත් එවැනි රටවල් බටහිර ලෝකය පුරා වහාබිවාදය පතුරවමින් සිටින්නේ යටි අරමුණක් ඉටු කරගැනීමේ අදහසින්ය. ඒ අරමුණ වන්නේ සුන්නි හා ෂියා මුස්ලිම් ජාතිකයන් හා වහාබිවරුන් අතර ගැටුම් ඇතිකොට බටහිර ලෝකයේ සුන්නි හා ෂියා මුස්ලිම් ව්‍යාපාර ආධිපත්‍ය බිඳ දැමීමය.

ඉරානය, ඉරාකය ඇතුළු මැදපෙරදිග මුස්ලිම් රටවල සුන්නි හා ෂියා මුස්ලිම්වරුන් අතර ගැටුම් ඇතිවීමට මුල්වී ඇත්තේ ද ඉහත කී බටහිර රටවල පටු අරමුණු බවට එමගින් සැකයක් උපදී.

වහාබිවාදය ලොව පුරා ප්‍රචලිත කිරීමට සෞදි රජය මගින් අමෙරිකානු ඩොලර් බිලියන 87ක් වැය කොට ඇතැයි අන්තර්ජාලය වෙබ් අඩවි කීපයකම වාර්තාවල සඳහන් වෙයි. ඇතැම් රටවල ඉස්ලාම් දහම ඉගැන්වීම සඳහා අරාබි දහම් පාසල් පිහිටුවීමේ මුවාවෙන් වහාබිවාදය ප්‍රචාරය කිරීමට පසුගිය කාලයේ සෞදි අරාබිය කටයුතු යොදා ඇතැයිද ඉන් කියැවේ.

සෞදි අරාබියේ මුස්ලිම්වරු වහාබිවාදයට මෙතරම් නැඹුරු වූවත් වහාබිවාදය මුස්ලිම් ලොවට හඳුන්වා දුන් අල් වහාබ්ගේ පවුලේ සාමාජිකයන් නම් ඊට දැඩි ලෙස විරුද්ධ වූ බව ඉතිහාසයේ දැක්වෙයි. එකල ඔහුගේ පියා මෙන්ම සොයුරු සල්මාන් ඉබ්නු අල් වහාබ් ද ඊට එරෙහිව නැගී සිටියහ. සිය සොයුරාගේ තර්ක තර්ක බිඳ දැමීමේ අරමුණින් සල්මාන් ඉබ්නු පොතක් ද ලියා පළකළේය.

සම්ප්‍රාදයික ඉස්ලාම් භක්තිකයන් වූ අල් වහාබ් පවුලේ සාමාජිකයන්ගේ විරෝධතා මැද එසේ ව්‍යාප්ත වීමට පටන් ගත් වහාබිවාදය වර්තමානය වනවිට මුස්ලිම් රටවලට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත්වි ඇත.

ශුද්ධ වූ අල්කුරාණයත්, මුහම්මද් නබිනායකතුමාණන්ගේ දැහැමි ජීවිතයත් අනුගමනය කරන සමස්ත ලෝකවාසී සම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට අනුව වහාබිවාදීන් සිය අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ඉස්ලාම් දහම අවියක් ලෙස භාවිතා කරති.

වහාබිවාදයට අනුව ඉස්ලාම් දහමේ මූලික වගකීම් පහ පිළිගනිමින් ඒ අනුව ජීවත් වන මුස්ලිම්වරුන් කෙතරම් අපරාධ හා දූෂණ කරනු ලැබුවද ඒ සියලු පාපකර්මවලින් ඔවූහූ නිදහස් වෙති. එහෙත් වහාබිවාදයට එරෙහි ජාත්‍යන්තර ඉස්ලාම් විද්වත්හූ එය ඉතා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරති. එය ඉස්ලාම් දහමට හා කුරාණයට පටහැනි මතයක් බව ඔවුන්ගේ අදහසය. එබැවින් වහබිවාදය ලොව පුරා ව්‍යප්ත කිරීමට ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරන සෞදි අරාබියේ අත්තනෝමතික ක්‍රියාවලිය ඔවූහූ පිළිකුලෙන් යුතුව බැහැර කරති.

වහාබිවාදයට එරෙහිව ලෝකවාසී සම්ප්‍රදායික ඉස්ලාම් බැතිමත්හූ විවිධ මත පළ කළ ද ශ්‍රී ලංකාව ඇතුළු ආසියා

මහාද්වීපයේ ජීවත්වන මුස්ලිම් ජනතාව තවමත් ප්‍රසිද්ධියේ වහාබිවාදය විවේචනය කිරීමට පෙලැඹී නැත.

ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්තවල සම්ප්‍රදායික මුස්ලිම් ජනතාව වහබිවාදය අනුගමනය කරන සෙසු මුස්ලිම්වරුන් හා ගැටුම් ඇතිකර ගැනිමේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ දී වාර්තා විය. එවැනි ඇතැම් අවස්ථාවලදී පුද්ගල ඝාතන ද සිදුවී ඇත.

ශ්‍රී ලංකාවේ ද ඇතැම් පළාත්වල සම්ප්‍රදායික මුස්ලිම්වරුන් හා වහාබිවාදීන් අතර ගැටුම් පසුගිය කාලයේ දක්නට ලැබිණි. එහෙත් ඒවා දුරදිග නොගියේ මෙරට මුස්ලිම් ආගමික නායකයන්ගේ හා මුස්ලිම් දේශපාලන නායකයන්ගේ මැදිහත් වීම නිසාය. කරුණු එසේ වූවද ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලන නායකයන් මෙන්ම ආගමික නායකයන් වහාබිවාදයට උඩගෙඩි දෙන බව නොකියාම බැරිය. සිය පටු අරමුණු ඉටු කරගැනීමේ චේතනාවෙන් ඉස්ලාම් දහම පලිහක් කරගත් එවැනි ආත්මාර්ථකාමී පුද්ගලයන්ගේ දෙබිඩි පිළිවෙත නිසා මෙරට ආගමික සහජීවනයට සිදුවන හානිය සුළුපටු නොවේ.

මෙරට සියවස් ගණනාවක පටන් සෙසු ජාතීන් හා එක්ව ජීවත්වූ සම්ප්‍රදායික මුස්ලිම් ජනතාවට වහාබිවාදයෙන් සිදුවන්නේ අගතියක් මිස ප්‍රගතියක් නොවන බැව් ඉඳුරාම කිව හැකිය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]