අපේ අධ්‍යාපනය නරක ද?

අපේ අධ්‍යාපනය නරක ද?

රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රබල සංවාදයක් මේ වන විටත් පවතී. පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කළ යුතු ද? පැවැත්විය යුතු ද? වැනි සංවාදයන් ද ඒ අතර පවතී. මේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව තීන්දුවක් ගෙන නැත. එහෙත් එම විභාගය ආශ්‍රිත ව පැන - නැඟී ඇති මානුෂික ගැටලු රැසක් ගැන අධ්‍යාපන කොමිසම හේතු - සාධක සහිත ව කරුණු දක්වා ඇති බව අපට දැනගන්නට ලැබේ. ඊට අදාළ විද්‍යාත්මක කරුණු ගවේෂණය කොට අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් දක්වන අතර ඔහුගේ තනි මතයකට ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්නට යන්නේ නැත.

අධ්‍යාපනය සම්බන්ධයෙන් සංවාද කිරීම නරක නැත. අධ්‍යාපනය යනු අගනා ම ආයෝජනයකි. ඒ හැරෙන්නට එය ජාතියේ අනාගතය කෙරෙහි ද, රටේ සංවර්ධනය කෙරෙහි ද බලපාන්නේ ය. ටැන්සානියාවේ හිටපු ජනාධිපති ජුලියස් නියරේරේ තමන්ගේ මව්බිම දියුණු තත්ත්වයකට ගෙන ආවේ සියලු දෙනාට ම අධ්‍යාපනය ලබා දෙමින් ය. ඔහු ඒ සඳහා ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළේ ය. කාලයේ තාලයට අනුව අධ්‍යාපනය වෙනස් කළ යුතු ය. එසේ නොවුණහොත් නව දැනුම සමඟ ඉදිරියට යා නො හැකි ය.

ශ්‍රී ලංකාව යනු අධ්‍යාපනය අතින් විශාල ප්‍රගතියක් ලබා ඇති රාජ්‍යයෙකි. දකුණු ආසියාවේ හොඳ ම සාක්ෂරතාව ඇති රට අපේ මව්බිම ය. ඒ හැරෙන්නට ලබන වසර වන විට පරිගණක සාක්ෂරතාව 40% ට වඩා ඉහළට ගෙන යෑමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. දැනුමට මුල් තැනක් දෙන පරිසරයක් රට තුළ තිබේ. අධ්‍යාපනය යනු මිනිසාගේ මහාර්ඝ සම්පත යැයි අදහසක් ද රට තුළ පවතී. හෝඩියේ සිට උපාධිය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබාගත හැකි ලෝකයේ රටවල් කිහිපය අතර ප්‍රධාන තැනක් ද ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

මෑත කාලයේ මෙරට අධ්‍යාපනයේ නව ප්‍රවණතා රැසක් දකින්නට ලැබේ. ඉන් ප්‍රධාන වන්නේ ගමට අධ්‍යාපනය ව්‍යාප්ත වීම ය. වසර කිහිපයක පටන් ම සියලු විභාගවල ඉහළම ප්‍රතිඵල ලැබී ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවලටය. පහ වසර ශිෂ්‍යත්වය, අ. පො. ස. සා/පෙ විභාගය, අ. පො. ස. උ/පෙ විභාගය මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. මෙවර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශය, ගණිත අංශය, වාණිජ අංශය යන ක්ෂේත්‍ර තුනෙහි ම පළමුවැනියන් බිහිවූයේ ගමෙන් ය. වාණිජ අංශයේ පළමුවැනියා ගම්පහ දාරළුව ප්‍රදේශයේ දුප්පත් ශිෂ්‍යාවකි.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවැති ගැටලුවක් වූයේ ග්‍රාමීය අංශයට අධ්‍යාපනයේ අවස්ථා නිසි ලෙස බෙදී ගොස් නැති බව ය. කොළඹට කිරි අපට කැකිරි යන සටන් පාඨය තරුණ පරපුර අතරින් මතුවූයේ ද එම හේතුව නිසා ය. 1971 තරුණ කැරැල්ලට හේතු සාධක සෙවූ අය කියා සිටියේ අධ්‍යාපනයේ විසමතාව තරුණ කැරැල්ල කෙරෙහි සෘජු බලපෑමක් කර ඇති බව ය. එහිම දෙවන කැරැල්ල වූ 1988 තරුණ නැගිටීමට හේතු සාධක සෙවූ කොමිසම ද ඒ බව දක්වා තිබිණි.

වත්මන් ආණ්ඩුව මේ සියලු කරුණු සමාලෝචනය කරමින් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර තිබේ. එහි ප්‍රතිඵල දැන් දැකගන්නට ද ලැබේ. ප්‍රධාන කාරණය වන්නේ ග්‍රාමීය පාසල්වලට අවශ්‍ය සම්පත් ලබාදීම ය. රටේ ජනප්‍රිය පාසල් තිස් ගණනක් ඇති අතර සියලු දෙනාගේ අපේක්ෂාව සිය දරුවා එම පාසලකින් එකකට ඇතුළත් කර ගැනීම ය. ඒ නිසාම අධික තරගයක් ද ඇතිවිණි. දැන් ඒ තරගය කෙමෙන් තුනී වන්නට පටන්ගෙන තිබේ. පාසල් නවසිය ගණනක් වැසී යෑමේ තර්ජනයට මුහුණ දී තිබිණි. එම පාසල් යථා තත්ත්වයට ගන්නට අධ්‍යාපන අමාත්‍යාංශයට හැකි විය.

ගමේ පාසල්වලට තිබූ ප්‍රධාන ගැටලුව වූයේ අවශ්‍ය පහසුකම් නැතිකමය. ඇතැම් ඉස්කෝලයක පන්ති පැවැත්වූයේ ගස් යට ය. එම පාසල්වලට ගොඩනැගිලි නැත. තවත් ඉස්කෝලයකට ක්‍රීඩා පිටියක් නැත. තවත් ඉස්කෝලයකට ගුරුවරුන් නැත. විද්‍යා, ගණිත, ඉංග්‍රීසි යන විෂයයන් සඳහා පමණක් නො ව සෞන්දර්යය විෂයයට ද ගුරු හිඟයක් පැවැතිණි. ආණ්ඩුව ඉතා බුද්ධිමත් ලෙස මේ ගැටලුවට විසැඳුම් සොයා දුන්නේ උපාධිධාරී ගුරුවරුන් අලුතින් බඳවා ගැනීමෙන් ය. ආණ්ඩුව ගත් තවත් වැදගත් තීරණයක් වූයේ උපාධිධාරී ගුරුවරුන් වැඩියෙන් බඳවා ගැනීමට තීන්දුවක් ගැනීම ය. අද වන විට ගුරු හිඟය සියයට - සියයක්ම පාහේ විසැඳී ඇත.

රට පුරා පාසල් නවදහස් ගණනක් ඇති අතර ඉන් බහුතරය අංග සම්පූර්ණ පාසල් ය. මහින්දෝදය වැඩසටහන යටතේ පාසල් දහසක් අංගසම්පූර්ණ වී තිබේ. මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල පිළිසකර වී තිබේ. මුළුමනින් ම ගත් කළ රටේ සියලුම පාසල්වල අලුත් පිබිදීමක් දකින්නට ලැබේ. පරිගණක භාවිතයට සියලු සිසුහු සූදානමින් සිටිති. ජනාධිපති කාර්යාලයේ මෙහෙයැවීමෙන් පරිගණක විද්‍යාව හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ඊට ඉන්දීය සහයෝගය ද ලැබී ඇත.

ආණ්ඩුවේ ඉලක්කය වන්නේ රටට හා තරුණ පරපුරට ගැළපෙන අධ්‍යාපනයක් වෙත ගමන් කිරීම ය. එක අතෙකින් රැකියා’භිමුඛ අධ්‍යාපන පාඨමාලා පැවැත්විය යුතු ය. තවත් අතෙකින් රටේ උරුමය හා අනන්‍යතාව ආරක්ෂා කරන අධ්‍යාපන ක්‍රමවේදයක් පැවැතිය යුතු ය. මේ ඉලක්ක දෙකට ම ගැළපෙන ක්‍රමවේදයක් ආණ්ඩුව සකස් කර තිබේ. මවුබසට, ඉතිහාසයට ප්‍රධාන තැනක් ලබා දී ඇති අතර තාක්ෂණවේදය අලුතෙන් හඳුන්වා දී තිබේ. එම විෂය යටතේ උපාධිය හා පශ්චාත් උපාධිය දක්වා ඉගෙන ගත හැකි ය. ඉදිරි කාලය තුළ විද්‍යා විෂය ධාරාවට ප්‍රධාන තැනක් ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද වෙනස් කර තිබේ.

දරුවාට ලබාදිය යුතු හොඳම දායාදය අධ්‍යාපනය යි. එහෙත් අධ්‍යාපනය ලබා දෙන අතර නිවසක කුටුම්භය දෙදරා යා යුතු නැත. පහ වසර ශිෂ්‍යත්ව විභාගය හඳුන්වන්නේ අම්මලාගේ විභාගය ලෙසින් ය. හේතුව එම විභාගය සඳහා දරුවන්ට වඩා මවුවරුන් කැපවීමය. පාසල් යා යුත්තේ අම්මලා නොව දරුවන් ය. දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබාගැනීමට අවකාශය ඇතිකිරීම මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ‍බව පෙනී යයි. එය යහපත් ක්‍රියාවලියෙකි.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා