පරම විඥානාර්ථ බෞද්ධ සංගමය රැකගන්න පිරිසක් පොලිසි යති

සභාපති සමිතියේ දේපොළවලින් ලක්ෂ ගණන් ගසා කාලා

පරම විඥානාර්ථ බෞද්ධ සංගමය රැකගන්න පිරිසක් පොලිසි යති

* බලධාරීන් 9කගේ කමිටුවෙන් විශේෂ පරීක්ෂණ

* නිල කාලය අවසන් වූවත් තවමත් සභාපති ධුරයේ

* විමර්ශන අතරතුර තවත් වංචා රැසක තොරතුරු

පැරණි ඉතිහාසයක් ඇති කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ සභාපතිවරයා විසින් එම සමිතිය සතු දේපොළ අනිසි ලෙස භාවිතා කර රුපියල් ලක්ෂ පනහකට වැඩි මුදලක් වංචා කර ඇතැයි එම සමිතියේ නිලධාරී මඬුල්ල පිටකොටුව පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා සිටියි.

මේ සඳහා එම සමිතිය මඟින් විගණනයද සම්බන්ධ කර ගනිමින් විශේෂ විමර්ශනයක්ද පැවැත්වෙන අතර ඒ සඳහා නිලධාරීන් 9 දෙනකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කර තිබේ.

2004 වර්ෂයේ සභාපති ධුරයට පත්වූ එම සභාපතිවරයාගේ නිල කාලය අවසන්ව ඇති බවත් ඔහු විසින් වැරැදි සහගත කොන්දේසි ඉදිරිපත් කරමින් තවදුරටත් සභාපති ධුරයේ රැඳී සමිතියට හානිකර ආකාරයෙන් කටයුතු කරන බව මෙම නිලධාරී මණ්ඩලය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

සමිතියේ මූල්‍යමය හා පරිපාලනමය කටයුතු පිළිබඳ විමර්ශන සිදුවෙන අතරතුර සභාපතිවරයා විසින් සිදු කරන ලදැයි කියන වංචා රැසක තොරතුරු හෙළිවී ඇතැයි එම සමිතියේ විමර්ශන කමිටුව පවසයි.මෙම සමිතියට අයත් ඇතුල්කොට්ටේ පිහිටි විපුල පෙර පාසලේ ආදායම රුපියල් ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයක් විගණනය නොකර අවභාවිතා කර තිබීම, කොල්ලුපිටියේ පිහිටි සමයවර්ධන පාසල් ඉඩම සමිතියේ ව්‍යවස්ථාවට පටහැනිව විකිණීම, සමිති නිලධාරීන් ලෙස පත්ව සිටින සමහර නිලධාරීන් ඔවුන්ගේ පෙර විෂම චර්යාවන් සාමාජිකත්වයට සඟවා තනතුරු සඳහා ඉදිරිපත් කිරීම, නිසි පරිදි මුදල් කමිටු රැස්වීම් නොපැවැත්වීම, මුදල් කමිටුවේ සහ විධායක කාරක සභාවේ පූර්ව අනුමැතිය රහිතව දිනපතා මුදල් වියදම් කිරීම, සමිතියේ ස්ථාවර තැන්පතු පත්, බැංකු පාස් පොත්, දඹදිව චාරිකාවල බාහිර බිල්පත් විගණනයට ඉදිරිපත් නොකිරීම, 2003 වසරේ සිට 2013 දක්වා සමිතියේ 252 - 0132 වෑන් රථයට රුපියල් ලක්ෂ 09ක ඉන්ධන වියදම් ලෙසද, එම වාහන අලුත්වැඩියාවට හා නඩත්තුවට රුපියල් ලක්ෂ 11 අධික මුදලක්ද, ජංගම දුරකථන රීලෝඩ් වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක්ද වියදම් කිරීම තවද දඹදිව චාරිකා සඳහා වූ පාස්පෝට් වීසා හා ප්‍රචාරණ ආදියේ සත්‍ය වියදම් අතහැර ආදායම වැරැදි ලෙස ගණනය කර තිබීම සහ කොමිස් මුදල් ලෙස රුපියල් දෙලක්ෂ තිස් හයදහසකට අධික මුදලක් ගෙවීමට ඇති බව පවසා ඉන් කොටසක් කාරක සභාවට නොදන්වා ගෙවා තිබීම, ව්‍යස්ථාවට පටහැනිව කාර්යාල සේවක සේවිකාවන් සාමාජිකත්වයට බඳවා ගැනීම, මිය ගිය පැරැණි සාමාජිකයන්ගේ සාමාජිකත්වය නමින් වෙනත් පුද්ගලයන් බඳවා ගැනීම, සමිතියේ ඇතැම් නිලධාරීන්ට පමණක් පැමිණීමේ දීමනා ගෙවීමද, සමිතියට අයත් ගම්පහ ඔරුතොට ඥානවිමල පාසල් දේපළ, ගම්පොල පාසල් දේපළ, වටරැක පාසල් දේපළ, නාවුලමුල්ල දේපළ, අන්සතු වීමට ඉඩ ප්‍රස්ථා සලසා තිබීමද, ගම්පහ සහ ගම්පොළ දේපොළ වෙනුවෙන් නඩු පවත්වාගෙන යාමට අධිනීතිඥ ගාස්තු ගෙවීම, කොල්ලුපිටියේ ජිනරාජ පාසල් නඩුව වෙනුවෙන් ලක්ෂ ගණනක නීතිඥ ගාස්තු ගෙවීම, කාර්යාලයේ වැටුපට වැඩකරන සමහර සේවිකාවන්ට සමිති මුදලින් ජංගම දුරකථන ලබාදීම, ඇතැම් අයට සමිති මුදලින් ණය ලබාදීම සහ ඒවා නැවත අය කර නොගැනීම, වංචාකාරී ලෙස දඹදිව වැඩවසන ස්වාමීන් වහන්සේලාට සහ විහාරස්ථානවලට යැයි පවසා රුපියල් ලක්ෂ ගණනක් ගෙවා තිබීම ආදී වශයෙන් එම සමිතිය සභාපතිවරයා වෙත චෝදනා රැසක් එල්ල කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර පැවැති මහ සභා ඡන්දයේදී එම සභාපතිවරයා සභාපති ඡන්දය පවත්වා නැත. ඔහුට තවමත් කාලය ඇතැයි පවසා තිබේ. එම නිසා සමිතියේ නිලධාරී මඬුල්ල විසින් වැඩබලන සභාපතිවරයකු පත්කරගෙන තිබේ.

පිටකොටුව පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කළ එම නිලධාරී මඬුල්ල සමිතියේ දේපොළවලට ඇතුළුවීම සහ ඒවා පරිහරණය කිරීමෙන් වළක්වා දෙන ලෙස ඉල්ලා සිටියි.

ඒ අතර එම සභාපතිවරයාට ගනුදෙනු කළ නොහැකි පරිදි සමිති බැංකු ගිණුම්වලටද නිලධාරී මඬුල්ල තහනම් නියෝග දමා තිබේ.

.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා